ඇයි මේ ගස් වල ගෙඩි හැදෙන්නේ නැත්තේ

ගස් වල ගෙඩි හැදෙන්නේ ඇයි? අපිට කන්නද?
මිනිස්සු, සත්තු වගේම තමයි ගසුත් ප්රජනනය කරනවා. 🌼මල් කියන්නේ ඒ කාර්යය වෙනුවෙන් ගස්වල හැඩගැහුණු අවයවය.

ස්වපරාගනය හෝ පරපරාගනයෙන් පස්සේ, ඒ කියන්නේ සංසේවනයෙන් පස්සේ බිහිවන කලලය, ඊළඟ ජීවය තමයි බීජ කියන්නේ. බීජය වැඩෙන්න පෝෂණය ඕන, රැකවරණය ඕන. ඒ නිසයි බීජය වටා ඵලයක් 🍎 හටගන්නේ. ඒ ඵලය වර්ණවත් වෙන්නේ, රසවත් වෙන්නේ, හැඩකාර වෙන්නේ බීජය හැකිතාක්දුරට පැතිරෙන්න කෙරෙන උපක්රමයක් විදිහට. හැබැයි අපි ඒ ඵලය රස විඳිනවා. එයින් ආදායම් උපයනවා. හැබැයි සමහර වෙලාවට ඵලදාව අඩුවුනාම ගහට වඩා දුක් වෙන්නේ ගෙඩි වල රස විඳින අපි.
🍐🍋🥑🍑🍒🍓🍈🍇

ඉතිං ඇයි ඇත්තටම ගස්වල ගෙඩි හැදෙන්නේ නැත්තේ? ඇයි ඵලදාව අඩු? ඵලදාව වැඩි කරගන්න අපි මොනවද කරන්න ඕන?

දැන් අපි දන්නවා ගස්වල ගෙඩි හැදෙන්නේ ඇයි කියලා. හැබැයි ඵල හදන්නත් ගහකට හොඳ හේතුවක් තියෙන්න ඕන. ඇත්තටම හොඳට කකා බිබී සනීපෙට ඉන්නකොට ගහට අමතක වෙනවා ඵල හදන්න . අපි යොදන ජලයත්, පොහොරත් පරිබෝජනය කරන ගමන් ගහ කරන්නේ අතු හදන එක.

ගෙඩි හැදෙන්නේ නැති ගහක ගෙඩි හදාගන්න ඕන නම් ඔන්න එහෙනම් ගහ මරන්න ඕන. මොකක්? මරන්න? නෑ නෑ. මැරෙන්න යනවා කියලා ගහට දැනෙන්න පොඩි ආතතියක් දෙන්න. දැන් ඕක ස්වභාවිකවත් සිද්ධ වෙනවා.

සෑහෙන කාලයක් පායලා එකපාරටම මහ වැස්සක් වැටුනට පස්සේ ගස්වල වැඩිපුර ගෙඩි හැදෙනවා දැකලා තියෙනවද? අන්න ඒක තමයි පරිසරයේ එකපාරටම සිද්ධවෙන වෙනස්කමක් ගහට ආතතියක් විදිහට දැනුන හැටි සහ දක්වපු ප්රතිචාරය. වැඩිපුර සද්ද බද්ද ඇහෙන එකත් ගහකට ආතතියක්. ඒකයි ඔය පාර අයිනේ තියෙන අඹ ගස්වල ඵලදාව වැඩි.

දැන් ඔය විදිහට අපිටත් පුළුවන් ගහකට ආතතියක් දෙන්න. එහෙම ආතතියක් දෙන්න පුළුවන් ක්රම කිහිපයක් තියෙනවා. ඒ හැම අතරේ කප්පාදුව කියන්නේ දීර්ඝකාලීන ප්රතිඵල ලබාදෙන හොඳම විසඳුමක්.

කවුද කැමති අතක් පයක් කැපෙනවට. ගහකටත් ඒ වගේ තමයි. මුල්, කඳ, අතු, කොළ, මැරුණ අතු….අපි දාන වතුර පොහොර ගහක් විසින් ඔය ඔක්කොම නඩත්තු කරන්න වැය කරනවා. ඒක අපේ පැත්තෙන් පාඩුවක්. අපි කරන්න ඕන ක්රමානුකූලව ගහ කප්පාදු කරන එක.

හැබැයි ඒක ගහ පොඩි කාලේ ඉඳලම කරනවා නම් ලේසියි, ප්රතිඵලදායකයි. ඒකට කියන්නේ ගහක් පුහුණු කරනවා කියලා. වැඩිහිටි ගහක් කප්පාදුව පහසු නෑ. හැබැයි බැරි නෑ. අපි මතක තියාගන්න ඕන ගහේ හැම ප්රධාන අත්තකටම, කඳට හොඳින් හිරු එළිය ලැබෙන්න ඕන කියන එකයි. 🌄හිරු එළිය කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම විෂබීජ නාශකය. ඒ වගේම ගහක ආහාර නිපදවන්න ඕන ප්රධානම ශක්තිය.

මුලින්ම ගහේ මැරුණු අතු ටික ඉවත්කරන්න ඕන. ඊටපස්සේ ගහේ මැදට හොඳට ඉර එළිය වැටෙන විදිහට අනවශ්ය අතු ඉවත් කරන්න ඕන. ගහට හොඳ සැකිල්ලක් ලබාදෙන්න ඕන. ඒක නම් කලාවක්. ගස් කිහිපයක් කප්පාදු කරනකොට ඉබේටම කපන්න ඕන අත්ත මොකක්ද, නැත්තෙ මොකක්ද කියලා වැටහෙනවා. කැපුම් හැමවිටම ආනතව යටිකුරුව යොදන්න ඕන.නැත්තන් එතන වතුර එකතුවෙලා දිලීර ආසාදන හැදෙන්න පුළුවන්. එහෙම වුනොත් ආතතිය කෙසේ වෙතත් අඩු කාලෙකින් ගහ මැරිලම යන්න පුළුවන්.

කපන ආයුධ හොඳ මුවහත් පිරිසිදු ආයුධ වෙන්න ඕන. කප්පාදුවට පස්සේ කැපුම් මතුපිට දිලීර නාෂකයක් ගානවනම් දිලීර ආසාදන වළක්වගන්න පුළුවන්.ඊටපස්සේ නිර්දේශ කරපු පොහොර මිශ්රනය යොදන්න ඕන. කාබනික පොහොර එක්ක යොදනවනම් හොඳ ප්රතිඵල ගන්න පුළුවන්. කාබනික පොහොර වල වාසි ඔබ හොඳටම දන්නවා.

තව පුළුවන් මුල් කප්පාදුවක් කරන්නත්. හැබැයි බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මුල් කප්පාදු කරාම ජලය, ඛණිජ අවශෝෂණය අඩු වෙනවා. එතකොට වර්ධක (අතු, කොළ) වර්ධනය අඩුවෙලා ඉහළ කොටස් වල කාබෝහයිඩ්රේට් එකතුවෙලා මල් හටගන්නවා.
අතු කප්පාදුව අපහසු නම් කඳෙන් හෝ අතුවලින් පොතුවලය ඉවත් කිරීමත් ඵලදාව නැති ගහකට කරන්න පුළුවන් දෙයක්. අතුවලට ඒ දේ කරනවානම් ප්රධාන කඳට සම්බන්ධ වන තැනට ආසන්නයේ පොතු වළල්ල කපන්න ඕන. සාමාන්යයෙන් අඟල් 1/4 හෝ 1/2 ක විතර පොතු වටයක් ඉවත් කෙරෙනවා. පොතු වළය ඉවත් කරාම ප්ලොයම පටක කොටස ඉවත්වන නිසා ඉහළ සිට පහළට ආහාර පරිවහනය ඇණ හිටිනවා. ඉහළ කොටස් වල නිපදවන කාබෝහයිඩ්රේට් මඟින් පුෂ්ප අංකුර ඇතිවෙනවා.

කෙලින් වැඩුනු ගස්වල අතු නැමීම, ගසේ කඳ හෝ අතු මුල වටේ කම්බි වෙලීම, කඳ තැලීම වගේ ක්රියාකාරකම් වලිනුත් ගෙඩි හටගැනීම ප්රමාද පළතුරු ගස්වල මල් හටගැනීම උත්තේජනය කරන්න පුළුවන්.

වාණිජ වගාවක් නම් පැක්ලබියුට්රසෝල් හෝමෝනය යොදලා මල් හටගැනීම උත්තේජනය කරගන්න පුළුවන්.

උපුටා ගැනීම සහ සුතූතිය – ගොවිතැන facebook page

 

එළවලු අස්වැන්න නෙලාගැනීමට සුදුසු අවස්ථාව තෝරා ගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *