ගොවියන්ගෙන් අඩුවට ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි?

ගොවියගෙන් අඩුවට මිලදී ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි?

හේතු ගොඩක් තියෙනවා.

අපි ලේසියට නිතරම අතරමැදියාට බණිනවා. ඒක ලේසියි. නමුත් අභ්‍යන්තරය දිහා හාරලා බැලුවොත් ප්‍රශ්නය දිහ හැර ගන්න පුලුවන්. එතකොට අතරමැදියා කියන්නේ ප්‍රශ්නයේ පොඩි කොටසක් කියලා තේරෙයි.

හරි අපි බලමු මේක දිග ඇරලා දැන්.

1. මුලින්ම මෙතනදි වෙන ගැටලුව වෙන්නේ ගොවියා අතින්. ඔවුන් නෙලා ගන්න අස්වැන්න කොහොම හරි හොඳ මිලකට විකුණගන්න බලනවා. ගහෙන්, වැලෙන් කඩා ගන්න එලවලුව, හාර ගන්න අලය ඔක්කොම විකුණගන්නයි ගොවියාට උනන්දුව. සමහර ඒවා මෝරලා, සමහර ඒවා ළපටියි, සමහර ඒවට පණුවෝ ගහලා, සමහර ඒවා කැපිලා කෙටිලා තුවාල වෙලා. ගොවියා විසින් ඒවා තෝරා ගැනීමක් කරන්නේ නෑ. එවිට සිය අස්වැන්නෙන් කොටසක් ඉවත් කිරීමට සිදුවන නිසා ඒ. ඔවුන් ඒ සියල්ලම මළුවල පැක් කරනවා. මිටි බඳිනවා, පෙට්ටි වල අඩුක් කරනවා. මෙතනදි පොඩි වංචාවක් කරනවා. ඒ තමයි ලොකුවට , ලස්සනට තියෙන කරල්/ අල වටේට පේන්න අඩුක් කරනවා, උඩින් පේන්න තියනවා, මැදට දාන්නේ අර විදියේ එච්චර පෙනුම නැති අඩුපාඩු තියෙන පලදාව. මේ මල්ලක් මිලදී ගැනීමේදී කෑල්ල පිටින්ම ගන්න ඕනේ. වටෙන් බලනවා විනා ඇතුල හාරලා බැලීමක් කරන්න බෑ. ඒ නිසා බඩු විකුණන වෙළෙන්දා ළඟට එනකොට විකුණ ගන්න බැරි වෙන කොටසක් ඔහු ලඟට එනවා. ඔහු එයටත් සමග මුදල් ගෙවිය යුතුයි ගොවියාට.

2. මීලඟ ගැටලුව ඇති වෙන්නේ ප්‍රවහනයේ දී. අර විදියට කෑලි වලට බැඳපු එලවළු මළු ලොරි වලට පටවනවා තදේට. බයිසිකල් වල බඳිනවා. ත්‍රී වීල් වල, බට්ටා ලොරි වල, ලොකු ලොරි වල වහලෙත් එක්කම පටවනවා හුස්ම හිරවෙනකං තද කරලා. සමහරු ඒවා උඩ නැගලත් එනවා. ගොවියාගෙන් අනතුරුව ඒවා උස්සන නාට්ටාමිලා ඒ මළු විසි කරන්නේ වැලි සිමෙන්ති ගාණට. ඒවා දුර ගෙනියන්නත් ඕනේ ලොරි වල. තදවෙලා ලොකු වෙලාවක් මල්ල ඇතුලේ fresh බඩු ඔක්කොම. ගොවියා නෙලන්නේ අද නම්, මේවා වෙලෙන්දන් අතට යනකොට පැය 24/36 ක් විතර ගතවෙලා. සුමට පතෝල, මෑ, කරවිල ලීක්ස්,මාළු මිරිස්, තක්කාලි , ලූණු කොල ආදිය තරමක් මැලවිලා, කැඩිලා, තැලිලා. හානිවෙලා. මේ නිසා අර කෑල්ලකින් ලොකු කොටසක් විකුණන්න බැරුව හානි වෙලා යනවා. ඒ පාඩුවත් වෙළෙන්දට.

3. අතරමැදියා අවස්ථාව A : වෙළෙන්දා අතට එන්න කලින් බඩු අතර මැදියෝ 3 දෙනෙක් අතර වත් විකිණෙනවා. ගොවියා බඩු ගෙනත් දෙන්නේ ආර්ථික මධ්‍යස්ථානයට. එතන කඩේ මුදලාලිට කිලෝවකින් රුපියල් 5 යි.

එතනදි ගැණුම් මිල, විකුණුම් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මත. යම් එලවළුවක ඉල්ලුම ඉහලයි නම් මිලයි. ඉල්ලුම පහත ගියොත් මිල අඩුම වෙලා විකුණන්න බැරි මට්ටමට ආවොත් අස්වැන්න අලින්ට. ඒ නිසා පාලන මිලක් කියලා දෙයක් නෑ. නිදහස් වෙළෙඳපොළ රීතින්ට එලවළු මිල යටත්.

4. අතරමැදියා අවස්ථාව B: ආර්ථිකයෙන් බඩු මිලදී අරං කොළඹ ගේන ලොරිය තව එකක්. එතනදි ප්‍රවහන වියදම එකතු වෙනවා.

5. අතරමැදියා අවස්ථාව C: කොළඹ නම් මැනිං මාකට් එකේ වෙළෙන්දට ඒ බඩු ලැබෙනවා. එතනදි නැවත මිල තීරණය වන්නේ ඉල්ලුම සහ සැපයුම මත. මෙම වෙළඳුන්ගෙන් තමයි එලවළු අපි බඩු ගන්න එලවළු කඩේ මුදලාලිට ලැබෙන්නේ.

6. කඩේ මුදලාලි මේ එලවළු ගන්න පාන්දර මැනිං මාකට් යනවා.ගිහින් අරගෙන ඇවිත් කඩේ තියං විකුණන්න ඕනේ. ඉතිං එක එලවළුවක් විකිණිලා ඉවර වෙන්න දවස් දෙක තුනක් යන්න පුලුවන්. ඉතිං එලවළු කඩ වල මේ එලවළු විකුණන්න දාලා තියෙන්නේ දිග ඇරලා. ගෙනාව ගමන් ඒවා කඩේදි සුද්ද කරන්න ඕනේ. ගෝවා කොළ කපලා ගෙඩි සුද්ද කරන්න ඕනේ. ලීක්ස් වල මුල් වල මඩ හෝදන්න ඕනේ. කැරට් , බීට්, රාබු , අර්තාපල් අල වර්ග වල මඩ හෝදන්න ඕනේ. එතකොට යම් බරක් ඔහුට අහිමි වී යනවා.

එහෙම කරලා කඩේ තියාගෙන මේවා විකුණන්න ඕනේ. ඉතිං පාරිභෝගික අපි මේ එලවළු ගන්න කොට අර මුලින්ම ගොවියා විසින් දාපු මෝරපු, ලපටි, තැළුණු , කැපුනු, පණුවෝ ගහපුව අයින් කරලා තෝරලා තමයි ගන්නේ. රස්නෙයි ,අවුවයි ඔක්කොම එක්ක මේ එලවළු දවසක් දෙකක් යනකොට වේලෙනවා, ඉදෙනවා, කොළ හැලෙනවා. විජලනය නිසාම තමත් බර අඩු වෙනවා. හැම උදේම කැඩේ වැඩ කරන කොලුවෙක් මේවායේ ඉදිච්චි, තැලිච්චි , පණුවෝ ගහපුවා කපලා , සුද්ද කරලා ගන්න ඕනේ.නැත්නම් විකුණන්න බෑ.

ඒ වගේම තමයි කොච්චර විකුණුවත්, විකුණගන්න බැරි කොටසක් කූඩේ එකතු වෙනවා. ඒ ටික විසි කරනවා ඇර වෙන විකල්පයක් නෑ.

එහෙම බලනකොට කඩේ මුදලාලි මේ හැම දේකම අවසාන මිල තීරණය කරන්න ඕනේ. ඒකට ලාබෙත් තියාගෙන තමයි එලවළු කිලෝවක අවසාන මිල තීරණය වෙන්නේ. ගොවියාගෙන් ගත්ත ගාණට වඩා ලොකු ගාණක් කඩෙට ගෙවන්න වෙන්නෙ ඒකයි.

එහෙම ගෙදරට ගේන එලවළුත් සුද්ද කරලා පොතු ගහලා, කපලා, ඇට ඇයින් කරලා, කොල කඩලා අරං අපි උයනවා. උයලත් ඔක්කොම නොකා කොච්චර විසි කරනව ද?

එහෙම බැලුවම ගොවියා විකුණන අස්වැන්නෙන් 50% ක් විතර පාරිභෝගිකයා අතට එන්න කලින්ම කඩේදිම නාස්ති වෙනවා.
තව 10 % විතර බඩට නොයා නාස්ති වෙනවා.

ගොවියේක් එලවළු කිලෝ 100 ක් වික්කොත්, මිනිහෙක්ගේ කටට වෙනකං යන්නේ කිලෝ 30ක් විතර. ඉතිරි ඔක්කොම කුණු ගොඩේ.

ඉතිං අතර මැදියෝ විතරක් නෙවෙයි මෙතන ප්‍රශ්නය. ඒක ප්‍රශ්න ජාලයක්.

මේ තියෙන්නේ කඩේක අද දැකපු ඒ නාස්තිය. මේවා අතර මැදියගේ වැඩ නෙවෙයි.

ගස්ලබු ලොරියක් , කෙසෙල් ලොරියක් කොළඹ පටවන වෙළෙන්දෙක් ඒවායේ මිල කියන්නේ ලොරියෙන් භාගයක් විකුණන කොට ලාභයක් ලැබෙන්න. මොකද ඉතුරු භාගේ විසි කරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක තමයි මහ පොළොවේ ඇත්ත.

හොයලා බලන්න.

ස්තූතිය සහ උපුටා ගැනීම

වෛද්‍ය පැතුම් කර්නර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *