පලතුරු අස්වනු නාස්තියට විසඳුම්

එක් දිනකට මිනිසකු අවම වශයෙන් පලතුරු ග්රෑම් හාරසීයක ප්‍රමාණයක් ආහාරයට ගැනීම අවශ්‍ය බව ජීව විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ. මේ අනුව විටමින් හා වෙනත් පෝෂක වර්ග පලතුරු අනුභවයෙන් මිනිස් සිරුරට ලැබේ.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව සතුව විවිධ වර්ගයේ පලතුරු වර්ග පනස්පහක් ඇති අතර, මේ වර්ග සාර්ථකව වගා කිරීමටද හැකියාව ඇත. එම පලතුරු ජනප්‍රිය වී ඇත්තේ ඒවාට ආවේණික රසය, ගුණය හා අදාළ වර්ගය නිසාය. බොහෝ විට මේ පලතුරුවල රසය භුක්ති විඳීමට අපට අවස්ථාවක් නැත. එයට හේතුව ඒවා බෙදාහැරීමේ පිළිවෙළක් හා නිසි ක්‍රමවේදයක් නැති වීමයි. මේ නිසා පලතුරුවල මිල අධික වේ. මේ තත්ත්වය වර්තමානයේ පාරිභෝගිකයන් සඳහා ඇති ගැටලුවකි.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වුවද සියලු ශ්‍රී ලාංකිකයන්ට පරිභෝජනයට ප්‍රමාණවත් තරම් පලතුරු අස්වැන්නක් අප සතුව නැති වීම ඛේදවාචකයකි.

මෙයට හේතු කීපයකි:

* නියමිත අවස්ථාවේදී අස්වනු නෙළා නොගැනීම
* 30%ක් හා 40%ක් අතර ප්‍රමාණයක අස්වනු හානි වීම
• පසු-අස්වනු හානිය යනු කුමක්ද?

අස්වනු නෙළන අවස්ථාවේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා වන සැපයුම් දාමයේ සිදු වන අස්වනු හානිය. සංඛ්‍යාත්මක දත්තවලට අනුව වසරකයට පලතුරු ටොන් 270000ක් පමණ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වේ. මේ අනුව කෙසෙල් අස්වැන්නෙන් 30%ක්ද ගස්ලබු අස්වැන්නෙන් 46%ක්ද අන්නාසි අස්වැන්නෙන් 68%ක්ද අලිගැටපේර අස්වැන්නෙන් 40%ක්ද අඹ අස්වැන්නෙන් 41%ක්ද හානි වේ.

වැඩි වන ජනහගහනය අනුවද පලතුරු අස්වැන්න වැඩි කිරීමේ අවශ්‍යතාවක් ඇත. ඒ නිසා පූර්ව-අස්වනු අවධියේ සිටම සැලකිලිමත් විය යුතුයි.

• පූර්ව අස්වනු අවධියේදී සැලකිලිමත් විය යුතු කරුණු

වගා කරන භෝග වර්ගය:- මෙහිදී සැලකිලිමත් වන්නේ භෝගවල භෞතික රසායනික පෝෂණ ගුණය හා වැඩි ඵලදාවක් ලබාදෙන භෝග පිළිබඳයි. මෙහිදී ප්‍රතිරෝධවලට ඔරොත්තු දෙන භෝග වර්ග පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි.

පස් වර්ගය:- උදාහරණයක් ලෙස පසට නයිට්‍රජන් හා පොස්ෆරස් වැඩි කිරීම මඟින් නාරං කුලයේ ශාකවල අඩු අාම්ලිකතාවක් මෙන්ම අඩු විටමින් සී ප්‍රමාණයක් ඇති වේ. එසේම පොටෑසියම් අඩංගු පොහොර යෙදීමෙන් ඒවා වැඩි කරගත හැකි වේ.

පලතුරු ගස් කප්පාදුව:- පලතුරු ගස් කප්පාදුව මඟින් ලබාගත හැකි අස්වැන්නේ ප්‍රමාණයද වැඩි වේ.

දේශගුණික තත්ත්වය:- පලතුරු පැළයකට මධ්‍යස්ථ ජල ප්‍රමාණයක්ණයක් අවශ්‍යම වේ. අධික වර්ෂාපතනයක් ඇති කාලවලදී පලතුරු ඉදීමේ අක්‍රමිකතා ඇති වන අතර, අධික හිරු එළිය නිසා පලතුරු පිලිස්සීමටද ඇති හැකියාව වැඩි වේ.

• වගාවේ ගුණාත්මක බව පසු-අස්වනු අවධියේදී සුරැකීමට යොදන උපක්‍රම
* භෞතික තත්ත්වයට හා පෝෂණ ගුණයට හානි නොවන ආකාරයට පලතුරු නෙළාගැනීම
* පලතුරු නෙළීමේදී නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ භාවිතය හා ඉහළ ශිල්පීය දැනුමක් ඇති ගොවීන් යෙදවීම
* උදේ 8ත් සවස 3ත් අතර කාලය අස්වනු නෙළීම සඳහා යෝග්‍ය වේ. මෙයට හේතුව මේ කාල‍යේ අස්වනු නෙළීමේදී වෑස්සෙන කිරි ප්‍රමණය අඩුවීමයි.

අස්වනු නෙළීමෙන් පසු සේදීම කළ යුතුය. මෙහිදී ලෙල්ලේ ගෑවී ඇති කිරි ඉවත් වීම නිසා අස්වැන්න කල් තබාගත හැකි වේ.

සෝදාගත් පසු අස්වනු මඳ පවනේ වේළන්න. ඉන් පසු වර්ග අනුව ඇසුරුම් කිරීම වඩාත් ‍යෝග්‍ය වේ.

ඇසුරුම් කිරීමේදී තැළීම් සීරීම් සිදු නොවන පරිදි ඇසුරුම් කළ යුතු අතර: ප්‍රවාහනයේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. ප්ලාස්ටික් කූඩවල ඇසිරීමේදී වුවත්, යම් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. නැති නම් අස්වැන්නට හානි වේ.

අසුරන ලද පලතුරු අස්වැන්න ප්‍රවාහනය කිරිමට සුදුසු වන්නේ අලුයම් කාලයේදී සහ රාත්‍රී කාලයේදීය. නැති නම් කූඩා ඇතුළේ ඇති වන උෂ්ණත්වය නිසා අස්වැන්නට හානි සිදු වේ.

ඉටි ප්‍රතිකාරය සහ උණු ජල ප්‍රතිකාරය හේතුවෙන් අස්වැන්න කල් තබාගත හැකි වේ. මේ සඳහා විශේෂ පුහුණුවක් ලැබිය යුතුය.

පලතුරු සුරක්ෂිත ලෙස ඇසුරුම් කිරීමට නොහැකි අවස්ථාවවල පලතුරු සැකසී‍මෙන් පසු ප්‍රවාහනය කළ හැකිය. මෙහිදී පලතුරුවල සුරක්ෂිත බව ඇති වේ. කෙසේ වෙතත් අස්වනු ගබඩා කිරීමේදී ප්‍රවාහනය කිරීමේදී නාස්තියක් සිදු වේ. මේ නිසා නෙළූ විගස පලතුරු පරිභෝජනය කරන්නේ නම් වඩාත් යෝග්‍යය වේ. එහෙත් මෙවැන්නක් ප්‍රයෝගිය නැත. මේ නිසා ගුණාත්මක බව සුරැකෙන අයුරින් ප්‍රශස්තම පරිසර තත්ත්වයක් ලබාදිය යුතුය.

නිවසේ ගෙවත්තේ කහ පැළයක්‌ වගා කර ගනිමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *