සප්සද ශාකය – Aristolochia indica

ඔසු පැලයක් ගැන…

සප්සද ශාකය – Aristolochia indica

🍀ඊශ්වරී, නාකුලී යන නම් වලින සංස්කෘත භාෂාවෙනුත් මරාටි භාෂාවෙන් සප්සද ලෙසත් හදුන්වන සස්සද ශාකය ශ්‍රී ලංකාවේ විශේෂයෙන් ඖෂධ සදහා යොදාගන්නා ශාකයක්.

🍀වැලක් ආකාරයට හැදෙන මේ ශාකය තාරාවෙකුගෙ හැඩයෙන් යුතු අලංකාර මලකිනුත් බීජ සහිත ගෙඩියකිනුත් සමන්විත වෙනවා.

 

🍀සස්සද ශාකය විවිධ වූ ගුණාංග රැසකින් සමන්විත ශාකයක් විදියට හදුන්වන්න පුළුවන්.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව උෂ්ණ වීර්යෙන් සහ සෙම් වාත ශමනය කිරීමේ ගුණයෙන් මේ ශාකය සමන්විත වෙනවා..

 

🍀ශ්‍රී ලංකාවේ මේ ශාකය වෙනුවට ගත හැකි ප්‍රතිනිධියක් වශයෙන් කීටමාරි ශාකය ( Aristolochia bracelota)  හදුන්වන්න පුළුවන්.. නමුත් සස්සද ශාකයත් ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වුණ ශාකයක්.

 

🍀සන්ධි ආශ්‍රිත ව ඇතිවන රෝග තත්ව වෙන සන්ධි ගත වාත ආම වාත ඉදිමුම් ආදියේදි සස්සද ශාකය තනිව හෝ තවත් ද්‍රව්‍ය සමග ආලේප විදියට නැත්තම් තැවීම් කිරීමේදී තැවිලි පොට්ටනියට එකතු කරගන්නවා.

 

🍀ඒ වාගෙම මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග වලදිත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලදීත් ප්‍රතිකාර පද්ධතියට යොදාගනු ලබන ශාකයක්.

 

🍀සස්සද රුධිරය පිරිසිදු කරන, හෘදය උත්තේජනය කරනු ලබන ගර්භාෂය සංකෝචනය කරනු ලබන ඉදිමුම් ප්‍රදාහ ආදිය නාශනය කරනු ලබන ගුණ වලින් යුතුයි.. ඒ වාගෙම ප්‍රතිඔක්සිකාරක හැකියාවත් ඉහළයි.

 

🍀විශේෂයෙන් ම ගෝනුසු සහ සර්ප දෂ්ටනවලදීත් සුදු කබර රෝගයෙත් මේ ශාකය යොදාගනු ලබනවා. සුදු කබර රෝගයේ දි මේ ශාකයේ මුල් චූර්ණය මී පැණියෙන් බාහිර ආලේපනය ක් විදියට යොදාගනු ලබනවා.

 

🍀ඉතාම ප්‍රසිද්ධ කරුණක් විදියට දේශීය වෛද්‍ය  ශබ්ද කෝෂය හි සදහන් වෙන කරුණක් තමයි බෝවන රෝග අවස්ථාවකදී මේ ශාකයේ මුල් කැබැල්ලක් ළග තබාගැනීම මගින් ඉන් වැලකිය හැකි බව.. අද වන විට විද්‍යාත්මකවත් සස්සද ශාකයේ විෂබීජ නැසීමේ සහ ඊට එරෙහිව විශේෂයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව සනාථ කරලා තිබෙනවා.

 

🍀සස්සද ශාකය පිලිබද පරීක්ෂණ අතරින් වැදගත් කරුණක් වන්නෙ  සරලව පැවසුවහොත්  එය සතුව තියෙන වකුගඩු ආශ්‍රිත ව පවතින විෂ(Nephrotoxicity)  ඉවත් කර රුධිරය පිරිසිදු කිරීමේ විශේෂ හැකියාව.

 

🍀 වර්තමානයේ බහුල රෝගී තත්වයක් වෙන වකුගඩු රෝග තත්වයේ දී  Serum creatinine, සෝඩියම් ප්‍රමාණය පොටෑසියම් ප්‍රමාණය යූරියා ප්‍රමාණය පිලිබද විශේෂයෙන් සලකා බලන බවට ඔබ දැනුවත් ඇති.

 

🍀ඉතින් මේ පිලිබඳ ව සිදුකල පරීක්ෂණ අනුව සස්සද පත්‍ර යුෂයට මේ අසාමාන්‍ය වන අයන සාන්ද්‍රණ සහ serum creatinine තත්ව නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ හැකියාව ඇති බවට පරීක්ෂණාත්මකව තහවුරු වෙලා තියනවා.

 

🛑 වෙනත් ඕනම ශාකයක් වගේ සස්සද ශාකයත් ඔබ හිතුමතේ පාවිච්චියට ගත යුතු ශාකයක් නෙවෙයි. මෙහි අධි මාත්‍රාව සිරුරට අනිවාර්යයෙන් ම හානිකර විය හැකි නිසා නිසා වෛද්‍ය උපදෙස් මත මෙය පාවිච්චි කිරීම වැදගත් වෙනවා..

 

සස්සද ශාකයේ තියන තවත් විශේෂත්වයක් තමයි මෙය සමනලුන් සදහා ධාරක ශාකයක් විදියට ක්‍රියා කරමින් සොබාදහම් සමතුලිතතාවයට උපකාරී වීම.

 

 

🦋අපේ රට තුල හමුවන සමනල් විශේෂ 247 න් 15 ක්ම අයිති වෙන papilianidae කුලයේ සමනල් විශේෂ 3 කම යැපුම් ශාකය මේ ශාකය යි. ඉතින් සමනලුන් ගැන උනන්දු වෙන ඔබට සස්සද වැලක් නිවසේම හදාගෙන සොබාදහම ට උපකාරයක් වෙන්නත් පුළුවන්.

 

🦋අපේ රටේ ජාතික සමනලයා වන Sri lankan birdwing ගේ එකම ධාරක ශාකය සස්සද ශාකය විදියට මේ වෙද්දි හදුනාගෙන තියනවා.  අනිත් සමනල් වර්ග දෙක තමයි crimson rose සහ common rose.

 

ඔබේ ඔසුපැල එකතුවට අනිවාර්යයෙන් එකතු කරගත යුතු ශාකයක් විදියට මේ හේතු නිසාම සස්සද ශාකය හදුන්වන්න පුළුවන්..

 

ඔබ සැම නීරෝගී වේවා ❤️

 

සටහන – මලිති රසාංජනා ඉලංකෝන්

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා (BAMS(ug))

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය

කැලණිය විශ්වවිද්‍යාලය

හරිත පැහැය ආහාර වේලට එක් කරගනිමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *