නිසි පරිදි කල යුතු පොහොර භාවිතය සහ ශාක නඩත්තුව

 

මල් කලාවේ විසිතුරු විශේෂාංගය යටතේ පසුගිය සතියෙන් අප ඔබව දැනුවත් කළේ පොහොර භාවිතය පිළිබඳවයි. එමඟින් විචිත‍්‍ර පත‍්‍ර ශාකයකටත්, මල් පිපෙන ශාකයටත් පොහොර සැපයීම පිළිබඳව මූලික තොරතුරු ඔබ ලබා ගන්නට ඇතැයි අප අනුමාන කරන අතර, ඒ සම්බන්ධව තවත් තොරතුරු කිහිපයක් රැගෙන එන්නයි මේ සූදානම.

පොහොර පැකැට්ටුවක් ගත් කළ එහි අඩංගු  N : P : K ප‍්‍රමාණයන් පැහැදිලිව සඳහන්ව ඇත. නයිට‍්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් යන කොටස් තුන මෙම N : P : K ලෙසින් හැඳින්වේ. මෙහිදී විසිතුරු පත‍්‍ර සහිත ශාක සඳහා නයිට‍්‍රජන් වැඩි පෙහොරක් භාවිතා කළ යුතු අතර එමඟින් පති‍්‍රක ශාකයන්ගේ මනා වර්ධනයක් සිදුවේ.

මෙම විසිතුරු පති‍්‍රක ශාක බොහොමයක් උදෙසා සෙවණ ලබාදීම වැදගත් වනසේම නිසි කාලයට පොහොර සැපයීමද ඉතා වැදගත්ය. සාමාන්‍යයෙන් වර්ෂා කාලයේදී පොහොර කිරීම ඉතා ප‍්‍රවේශමෙන් කළ යුතුය.

එක දිගට උදේ සිට රෑ වෙනතුරාත්, රෑ එළිවෙනතෙක්මත් වැසි පතිත වන කාලය තුළ පොහොර යෙදූ විට පොහොර දිය වී ශාකයට හානි සිදු විය හැකිය. එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර බෝගන්වීලියා වැනි ශාක සඳහා වැසි සමයේ පොහොර සැපයීමෙන් වැළකී සිටීම ඉතා වැදගත්ය.

මල් වගාවේදී පොහොර සැපයීම මෙන්ම ශාක නඩත්තුව පිළිබඳවද දැනුවත් බවක් ලබාගත යුතුය. ඇතැම් පති‍්‍රක ශාක මෙන්ම මල් පිපෙන ශාකද අලංකාරව වර්ධනය කර ගැනීම සඳහා නිසි කාලයට කප්පාදු කිරීම අවශ්‍යය.

එමඟින් ඔබට අලුත් පැල බෝකර ගැනීමටද හැකියාව ලැබේ. විශේෂයෙන්ම පති‍්‍රක ශාක නිසි ලෙස කප්පාදු කිරීමෙන් ඉතාමත් අලංකාර ශාකයක් බවට එය පත්කර ගත හැකිය. ඒ සමඟම කප්පාදුවෙන් පසුව ශාකයට පොහොර සැපයීමත් අත්‍යාවශ්‍ය ය.

බෝගන්වීලියා වැනි මල් පිපෙන ශාකවලද අතු දික්ව වැඩෙන බැවින් ඒවා වැඩීමට නොදී කප්පාදු කළ යුතුය. ඉන්පසුව සමතුලිත පොහොරක් යොදා ශාකය වර්ධනය වන්නට හැර මල් හට ගැනීමට පොහොරක් ලබා දිය යුතුය.

ඒ සමඟම ශාකයට අවශ්‍ය වන හිරු එළිය ලැබීම ගැනද සැලකිලිමත් වීම වැදගත්. මන්ද අලංකාර මල් ලබා ගැනීමට ශාකයකට පොහොර සැපයීම පමණක් නොව ඊට අවශ්‍ය පරිසරය ද ලබාදීම අවශ්‍ය අතර පොහොර සැපයීමට ප‍්‍රථම වල් පැළෑටි ඉවත් කිරීමටත් වගබලා ගන්න.ඇතැම් මල් ගස් වලට කොතෙකුත් සාත්තු කළ ද එහි වර්ධනයක් නොපෙනෙන අවස්ථා ද ඇත. ඊට හේතුව වී ඇත්තේ බඳුනෙහි ඉඩකඩ මදිවීමය.

මෙවන් අවස්ථාවක පැළය වෙනත් ඉඩ සහිත බඳුනකට මාරු කිරීම අවශ්‍ය වේ. ඒ සමඟම ශාකයේ මැරුණු කොළ, මල් ආදිය ඉවත් කර පඳුරේ වැඩි පැළ ප‍්‍රමාණයක් ඇත්නම් ඒවාද ඉවත් කර අලුතෙන් රෝපණය කළ යුතුය. එවිටම පැරැණි වගා මාධ්‍යය ඉවත් කොට අලුත් වගා මාධ්‍යයක් පුරවා ගැනීමටත් අමතක නොකරන්න.

සාමාන්‍යයෙන් ඔබට අලංකාර විශාල ශාක පඳුරක් සාදා ගැනීමට අවශ්‍ය නම් ප‍්‍රමාණයෙන් විශාල බඳුනක් උපයෝගී කරගත යුතු අතර එවිටද ශාකයේ මැරුණු සහ මැලවුණු කොටස් ඉවත් කරන්න.

මෙම ශාක සිටවූ පසුව මුලින්ම දියර පොහොරක් යෙදීමටත් වගා බලා ගන්න. ඉන්පසුව තමාට පහසු ආකාරයට දියර පොහොර වර්ගයක් හෝ කැට පොහොර වර්ගයක් තෝරාගෙන සති දෙකකට වරක් යොදන්න.

පොහොර සැපයීමේදී තරමක් අඩුවෙන් යෙදීමට වගබලා ගන්නේ නම් පොහොර වැඩිවීමෙන් සිදුවන හානිය අවම කරගත හැකිය. මේ ආකාරයට ශාකයකට නිසි වේලාවට, නියමිත ප‍්‍රමාණයෙන් පොහොර සපයා ක‍්‍රමානුකූලව නඩත්තු කරන්නේ්නම් ඔබගේ මල් වගාවද සාර්ථකව පවත්වා ගෙන ගිය හැකිය.

කුඩා ගෙවත්තක වගාවේදී හිරු එළිය ගැන සැලකිලිමත් වෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *