පසු අස්වනු තාක්ෂණය

පලතුරු නෙළීමේදී එක් එක් පලතුරු වර්ගය සඳහා වූ මේරීමේ ලාක්ෂණික ගුණාංග එකක් නොව කිහිපයක් ම සැලකිල්ලට බඳුන් කළ යුතුය. සිට්‍රස් කාණ්ඩයේ ජම්බෝල, නාරං, දොඩම් ආදි පලතුරුවල ලක්ෂණය වන්නේ තුනී ලෙල්ල, මෘදු ගෙඩි, ළා කොළ වර්ණය, ගෙඩි විශාල වීම ආදියයි.

අඹ නෙළීමට සුදුසු අවස්ථාවට පත්වූ විට නටුව වටා ඇති ප්‍රදේශය මඳක් ඉලිප්පුණු ස්වභාවයක් ගනී. තවද අඹ ගෙඩි ජලයේ ගිලේ. නැතහොත් ගිලී පාවේ.

පලතුරු සඳහා දේශීයව මෙන් ම විදේශීයව ද ඉතා හොඳ වෙළඳපොළක් ඇත.බොහෝ දෙනා තම පලතුරු වගාවන්ගෙන් හොඳ අස්වැන්නක් ද ලබා ගනිති. එහෙත් තම කාලය, ශ්‍රමය, ධනය වැය කර උපයා ගන්නා වටිනා අස්වැන්නට වෙළෙඳපොළේ උපරිම වටිනාකම නොලැබීමට ප්‍රධාන ‍හේතුවක් වන්නේ අස්වැන්න නෙළීමේ සිට වෙළෙඳපොළ දක්වා ගෙන යාමේදී සිදුවන අඩුලුහුඬුකම් නිසා අස්වැන්නේ ගුණාත්මක භාවය හීනවීමයි. මෙහිදී ගොවියාට ආර්ථික වශයෙන් පාඩු සිදුවන අතර පාරිභෝගිකයාට ගුණාත්මක බවෙන් පිරි පලතුරු මිලදී ගැනීමේ අවස්ථාව මඟ හැරේ. එහෙයින් අස්වැන්න නෙළන අවධිය, නෙළන ආකාරය, තේරීම හා වර්ග කිරීම, ඇසිරීම ගබඩා කිරීම හා ප්‍රවාහනය පිළිබඳව සැලකිලිමත් වීම අගනේය.

• අස්වැන්න නෙළන අවධිය

පලතුරක ස්වභාවික රසය, වර්ණය, සුවඳ මෙන් ම ගුණය යහමින් පැවතීම එහි වෙළඳපොළ වටිනාකම ඉහළ නංවයි. මෙකී ගුණාංග පවත්වා ගැනීමට නම් නිවැරැදි අවධියේදි පලතුරු නෙළීම සිදු කළ යුතුය. විශේෂයෙන් ම ක්ලයිමැක්ටෙරික් නොවන කාණ්ඩයේ පලතුරු වන මිදි, පේර, රඹුටන්, අන්නාසි, කාමරංගා, දොඩම්, නාරං, දෙහි, ලෙමන් ආදි පලතුරු නෙළන අවධිය ඉතා වැදගත්ය. මේවා නෙළීම සිදුකළ යුත්තේ උපරිම මේරීම ගසේදී ම සිදුවීමට තැබීමෙනි. මන්ද මේ ක්ලයිමැක්ටෙරික් නොවන කාණ්ඩයේ පලතුරු නෙළීමෙන් පසු ඉදීමක් සිදුනොවන හෙයිනි. මේවායේ ඉදීමට අත්‍යවශ්‍ය එතිලීන් වායුව ඉතා අඩුවෙන් නිපදවෙන අතර එතිලීන් බාහිරන් සැපයුවද පලතුරෙහි එතිලීන් නිෂ්පාදනයේ සැලකිය යුතු වැඩිවීමක් නොවේ. කෙසේ වුවත් ක්ලයිමැක්ටෙරික් කාණ්ඩයේ පලතුරු එනම් නෙළීමෙන් පසු ඉදීම සිදුවන අඹ, කෙසෙල්, අලිපේර, පැ‍පොල්, දූරියන්, අනෝදා ආදිය ද ළපටි නොමේරු අවධියේදී නෙළීම නිසා ගුණාත්මක බව හීන විය හැකිය. සැමවිට උත්සහ කළ යුතු වන්නේ එවැනි පලතුරු වුවද ගසේදීම මේරීමට ඉඩ සලසාදීමටය. නෙළිය යුතු අවධිය එකම පලතුරු වර්ගයේ වුවද විවිධ ප්‍රභේද සඳහා වෙනස් අවධීන් විය හැකිය. එයට හොඳම උදාහරණය පැපොල් ය. ‍දේශීය පැපොල් ප්‍රභේදයක් නම් එහි බාහිර පැහැය පහෙන් එකක් පමණ කහ පැහැ වූ විටත් ‘රෙඩ් ලේඩි” වැනි ප්‍රභේදයක් බාහිර වර්ණයෙන් පහෙන් දෙකක් පමණ කහ පැහැ වූ විටත් නෙළීම සිදුකළ යුතුය.

තවද පලතුරු නෙළීමේදී එක් එක් පලතුරු වර්ගය සඳහා වූ මේරීමේ ලාක්ෂණික ගුණාංග එකක් නොව කිහිපයක් ම සැලකිල්ලට බඳුන් කළ යුතුය. සිට්‍රස් කාණ්ඩයේ ජම්බෝල, නාරං, දොඩම් ආදි පලතුරුවල ලක්ෂණය වන්නේ තුනී ලෙල්ල, මෘදු ගෙඩි, ළා කොළ වර්ණය, ගෙඩි විශාල වීම ආදියයි. අඹ නෙළීමට සුදුසු අවස්ථාවට පත්වූ විට නටුව වටා ඇති ප්‍රදේශය මඳක් ඉලිප්පුණු ස්වභාවයක් ගනී. තවද අඹ ගෙඩි ජලයේ ගිලේ. නැතහොත් ගිලී පාවේ. නටුවෙන් වෑස්සී යන අඹ කිරි ප්‍රමාණය අඩු වේ. මැනවින් වර්ධනය වූ කෙඳි සහිත කහ හෝ තැඹිලි වර්ණ මාංසලයක් පවතී. අලිගැට පේර වල නම් පොත්ත පිටතේ පැහැදිලි වා සිදුරු පවතී. සමහර ප්‍රභේද වල ගෙඩිය සෙල වූ විට ඇතුළත බීජය සෙලවෙන හඬ ශ්‍රවණය කළ හැකිය. බීජ ආවරණය තද දුඹුරු පැහැවීමත් මාංසල කොටස් ක්‍රීම් පැහැ වීමත් දැකිය හැකිය. තවද අලිගැට පේර වල මේරු ගෙඩි ප්‍රමාණයෙන් විශාල වී පොත්තෙන් දිලිසෙන ස්වභාවය අඩු වේ.

• අස්වැන්න නෙළීම

අස්වැන්න නෙළීම ඉතා සැලකිලිමත්ව කළ යුතුය. මන්ද අස්වැන්න නෙළීමේදී සිදුවන කුඩා අතපහසු වීම වුවද සැලකිය යුතු තරමේ ආර්ථික හානියක් ගෙනදිය හැකිය. මෙහිදී පලතුරට සිදුවන යාන්ත්‍රික හානීන් හැකි පමණ අවම කළ යුතුය. වැඩිදියුණු කළ කෙක්කක් භාවිතයෙන් පලතුරු නොතැලෙන පරිදි කඩාගත හැකිය. තවද උස ගසක පලතුරු කඩන්නේ නම් ඒවා කඩා බිම දමනවා වෙනුවට කූඩයකට හෝ මල්ලකට දමා ප්‍රවේශමෙන් පහළට එවිය හැකිය. පලතරු නෙළීමේදී නටුව සමඟ නෙළීම ඉතා වැදගත්ය. ගෙඩියෙන් ඇද කැඩීමට තැත් කිරී‍මේදී ගෙඩිය හා නටුව වෙන් වන විට ඒ ආශ්‍රිත පටක හානි වී පසුකාලීනව ක්ෂුද්‍රජීවී ආසාදනයකට පහසුවෙන් ම ලක් වී නරක් වී යා හැකිය. සිට්‍රස් කාණ්ඩයේ පලතුරු නෙළීමට සුදුසුම කාලය පෙරවරු දහයේ සිට පස්වරු තුන පමණ දක්වා වූ කාලයයි. මන්ද යත් එම කාලය තුළ ඒවායේ පැඟිරි ග්‍රන්ථි වලින් පැඟිරි ස්‍රාවය ඉතා අවම හෙයින් ලෙල්ලෙහි මතුපිට දුඹුරු ලප ඇතිවීමේ හැකියාව හීන කරවයි. එමෙන් ම අඹ වැනි කිරි ස්‍රාවය වන පලතුරු ද පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා කාලය තුළ නෙළීම වඩා යෝග්‍ය වේ. ඒවායේ ද කිරි ස්‍රාවය වීම මෙම කාලය තුළදී අඩු හෙයින් ගෙඩිවල කිරි තැවරීමෙන් සිදුවන හානිය අවම කරවයි. තවද එවැනි කිරි ස්‍රාවය වන පලතුරු නටුව පහළට සිටින සේ තැබීමෙන් තවදුරටත් කිරි ගෙඩිවල තැවරීම වළකාලයි. මේරූ ගෙඩි නෙළන විට තෝරා බේරා ගැනීමකින් තොරව ඒ සමඟම නොමේරූ ගෙඩි ද නෙළන අවස්ථා කොතෙකුත් ඇත. එය අනුචිතය. මන්ද නොමේරූ ගෙඩි නෙළීමෙන් පසු ඒවා කල්තබා ගැනීමේ හැකියාව අඩු අතර රසය මෙන් ම ගුණය ද හීන වේ.

• අස්වනු තේරීම හා වර්ග කිරීම

නෙළා ගත් ගෙඩි කුඩා, මධ්‍යම හා විශාල ලෙස වර්ග කිරීමෙන් අස්වැන්නට නියම වටිනාකමක් දිය හැකිය. එමෙන් ම ඇසිරීම ද පහසු කරවයි. රෝග ආසාදනය වූ පරිභෝජනයට නුසුදුසු නරක් වූ ගෙඩි ඉවත් කළ යුතුය. මෙලෙස නරක් වූ ගෙඩි ඉවත් කිරීමෙන් හොඳ ගෙඩිවලට රෝගය ආසාදනය වීමේ අවදානම අඩු වේ.

• ඇසිරීම

මෙය ඉතා වැදගත් පියවරකි. විදේශීය රටවලට අපනයනය කරන‍්නේ නම් එම ප්‍රමිතීන්ට අනුවම සිදුකළ යුතුය. එමෙන්ම දේශීය පරිභෝජනය සඳහා පලතුරු ප්‍රවාහනයේදී ද නියමාකාරයෙන් අසුරා ඇත්නම් පලතුරු අස්වැන්නේ සිදුවන හානිය අවම කර උපරිම මිලක් ලබා ගත හැකිය. මේ සඳහා කළ යුත්තේ ඉතා සරල පිළිවෙත් ය. ලෑලි පෙට්ටි හෝ ප්ලාස්ටික් කූඩ ඇසිරීම සඳහා භාවිත කළ යුතුය. පැපොල්, අලිගැටපේර වැනි පලතුරු නම් ඇසිරීමට පළමුව කඩදාසි වලින් ඔතා නටුව පහළට සිටි සේ තැබිය යුතුය. එමඟින් ගෙඩි එකිනෙක ඇතිල්ලීම මඟින් සිදුවන යාන්ත්‍රික හානි අවම වන අතර කිරි තැවරීම නිසා සිදුවන පිලිස්සීම් ආදිය ද දුරු කර ගත හැකිය. කෙසේ නමුත් කෙසෙල් කැන් වශයෙන් ප්‍රවාහනය කරන්නේ නම් කැන් පොලිතින් වලින් ආවරණය කර හෝ කැන් අතරට ස්ටයිරොෆෝම් ස්ථර යෙදීමක් කළ හැකිය. තවද එවැනි අවස්ථාවල ලොරිය ඇතුළත මෘදු ආස්ථරණයකින් ආවරණය ද වැදගත්ය. එමෙන් ම ප්ලාස්ටික් කූඩ හා ලෑලි පෙට්ටි භාවිත කරන විට ඒවායේ ද ඇතුළත අතුරණයකින් ආස්තරණය කළ යුතුය. කූඩ මත අනවශ්‍ය බර පැටවීමෙන් පතුලෙහි අතුරා ඇති ගෙඩි තැලී පොඩි වී යා හැකිය.

• ප්‍රවාහනය

හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ප්‍රවාහනය කළ යුතුය. පලතුරු අස්වැන්න නෙළීමෙන් අනතුරුවද ජීවි තත්වයේ පවතින හෙයින් ශ්වසනය සිදුවේ. එහෙයින් යහමින් වාතය පැවතීම මඟින් වායු හුවමාරුව හොඳින් පවත්වා ගත හැකිය. එසේ නොවුණහොත් සිදුවන නිර්වායු ශ්වසනය නිසා පලතුරෙහි රසය වෙනස් වීම මෙන්ම ශ්වසන ශීඝ්‍රතාවය වැඩි වී පලතුරෙහි සංචිත ආහාර ප්‍රමාණය ද වැය වේ. අවසානයේදී හොඳ වාතාශ්‍රයක් නොලැබීමෙන් රසය මෙන් ම ගුණය ද හීන වේ. එමෙන් ම ප්‍රවාහනයේදී අධික වේගයෙන් ධාවනය, තදින් තිරිංග යෙදීම මඟින් අසුරා ඇති පලතුරු එකිනෙක ගැටී යාන්ත්‍රික හානි සිදුවිය හැකිය. ප්‍රවාහනය උදේ හෝ රාත්‍රී කාලයේදී සිදු කරන්නේ නම් ලොරිය ඇතුළත ඇතිවන උෂ්ණත්වය පලතුරුවලට හිතකර අඩු උෂ්ණත්වයේ පවත්වාගත හැකිය. තවද තද හිරු රශ්මියට නිරාවරණය නොවන පරිදි පලතුරු තැබිය යුතුය. තද හිරු රශ්මිය හේතුවෙන් පලතුරු වලින් ජලය වේගයෙන් ඉවත් වන අතර එම නිසා පිට පොත්ත ඇකිලී ගෙඩි මැල වී යා හැකිය.

• පශ්චාත් අස්වනු රෝග

ඇන්ත්‍රැක්නෝස් රෝගය, නටු අග කුණුවීමේ රෝගය ආදිය අස්වැන්නෙන් පසු පලතුරු වලට බහුලව වැලඳෙන රෝග වේ. මෙකී තත්වයන් ක්ෂේත්‍රය තුළදීම පාලනය කළ හැකිය. ගස්වල අනවශ්‍ය අතු ඉති කපා හොඳින් හිරු එළිය ලැබෙන පරිදි තබා ගැනීමත්, වගා ක්ෂේත්‍රය පිරිසුදුව තබා ගැනීමත් කළ යුතුය. එමෙන්ම අඹ වැනි පලතුරක් නම් නෙළා ගත් පසු සෙල්සියස් අංශක 52ක පමණ උණු වතුරේ විනාඩි තුනක් පහක් අතර කාලයක් ගිල්වා තැබීමෙන් සිදු කරන උණු දිය ප්‍රතිකර්මය ද වැදගත් ය. නිර්දේශීත දිලීර නාශක භාවිතයක් ද සිදුකළ හැකිය.

මෙවැනි පහසු පිළිවෙත් අනුගමනය කිරීමෙන් නෙළා ගත් වටිනා පලතුරු අස්වැන්නට උපරිම වෙළඳපොළ වටිනාකමක් ලබා ගත හැකි වන්නේය.

සරු රාබු අස්වැන්නක් ලබා ගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *