දින 100න් කොම්පෝස්ට්

නවීන ගොවිතැනේ දී යොදනු ලබන රසායනික පොහොර සහ කෘෂි රසායනයන් නිසා පසේ සියලූ ම ජීවීන් මිය යන හෙයින් පස නිසරු වන බව ඔබට පැහැදිලි ය.

එහෙයින් කාබනික වගාව සඳහා යොමු වීමේ දී මුලින් ම ඔබේ අවධානය යොමු විය යුත්තේ පස නැවත සුවපත් කිරීම කෙරෙහි ය.

පස තේරුම් ගනිමු
පසෙහි අඩංගු දෑ මොනවා ද? කියා ඔබ දනී. එනම්,
1. ඝන ද්‍රව්‍ය වන වැලි, කුඩා ගල් කැබලි (පාෂාණ ශේෂ කොටස්) ආදිය
2. කාබනික ද්‍රව්‍ය – එනම් පැළෑටි කොටස්, ජීවී හෝ අජීවී ක්ෂුද්‍රජීවීන්
3. ජලය
4. වාතය
මේ එකිනෙකෙහි අනුපාතය අනුව පසෙහි ගුණාත්මක බව තීරණය වේ. වැලි ප‍්‍රමාණය වැඩි පසට .වැලි පස. යයි කියන අතර එය බෝගයක් වගා කිරීමට උචිත නො වේ. ජලය වැඩි පසෙහි මැටි ස්වභාවය වැඩි නිසා වවන පැළෑටි කුණු වී යයි.

ගෙවත්තක් සඳහා ප‍්‍රශස්ත පසක තිබිය යුතු අනුපාතය වන්නේ 25% වාතය, 25% ජලය, 40% පමණ ඝන ද්‍රව්‍ය (වැලි, පාෂාණ ශේෂ කොටස්) සහ 10% කාබනික ද්‍රව්‍ය වේ. මෙබඳු සංයෝගයකින් ඔබේ පස යුක්ත නම් එය තද දුඹුරු/ කළු පැහැයක් ගන්නා අතර තෙතමනය ඇති විටක අතට ගතහොත් ලිහිල් පස් ගුලියක් ලෙස පෙනේ. තවද ඇසට දැකිය හැකි පණුවන් සිටිනවා නම් පස ඉතාමත් ප‍්‍රශස්ත ය.

බෝගයන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය සාධක වන ඔක්සිජන් සහ ජලය නිසි පරිදි ලබා දීමට උපකාර වන්නේ පසෙහි ව්‍යුහය යි. පසෙහි ඇති බැක්ටීරියා සහ ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනයට ඔක්සිජන් සහ ජලය නැතිව ම බැරි ය. මැටි ස්වරූපයේ පසක් නම් ඒ තුළ වාතය සහ ජලය නිසි පරිදි ගමන් නො කරන අතර බෝග හොඳින් නො වැඩෙන්නේ එම නිසා ය.

මෙම කාරණය ඔබ හොඳින් තේරුම් ගන්නේ නම් සාර්ථක ගෙවත්තක තිබිය යුතු පසෙහි ගුණාත්මක තත්ත්වය පවත්වා ගැනීම පහසු ය.

කාලයක් තිස්සේ රසායනික ද්‍රව්‍ය භාවිත කර ඇත්නම් පසෙහි මෙම ව්‍යුහය වෙනස්කම්වලට භාජනය වී ඇතුවාට සැකයක් නැත. ක්ෂුද්‍රජීවීන් සහ අනෙක් ජීවීන් වඳ වී ගොස් තිඛෙන්නට පුළුවන. ක්ෂුද්‍රජීවීන් නො මැති කල පසට යොදන ශාක කොටස් දිරවීමට උවමනා තත්ත්වයන් ද නැත. නැවතත් පස සුවපත් කර ගැනීමට නම් එය මුල් තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය යෙදවුම් යළි ලබා දිය යුතු ය. ක්ෂුද්‍රජීවීන් යළි පසට ගෙන ආ යුතු ය.

මුලින් ම කළ යුත්තේ කාබනික ද්‍රව්‍ය නිපදවීමට වුවමනා තත්ත්වයන් විනාශ කරන සියලූ රසායනික යෙදවුම් නතර කිරීම ය. කලක් තිස්සේ පසට විෂ එකතු කර තිබීම නිසා කාබනික ද්‍රව්‍ය එක් වරම ස්වභාවික ව නිපදවීමක් සිදු නො වනු ඇත. එනිසා මෙතෙක් හිඟයක්ව පැවති කාබනික ද්‍රව්‍ය පසට යළි එකතු කිරීම කළ යුතු ය.

මේ සඳහා ඇති හොඳම යෙදවුම කොම්පෝස්ට් වේ.

කොම්පෝස්ට් යනු?

කොම්පෝස්ට් යනු වගාවන්ට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටසක් වන ජීරණය වූ කාබනික කොටස් ය.

කොම්පෝස්ට් සැදීම යනු පැළෑටි, ශාක කොටස්, සත්ව කොටස් ආදි කාබනික ද්‍රව්‍ය පසට සමාන තත්ත්වයකට (හ්‍යුමස් සහ ඛනිජ ද්‍රව්‍ය බවට) පෙරළීමේ ක‍්‍රියාවලියයි. එය, ශාක සහ සත්ව පෝෂක කොටස්, ක්ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය තුළින් නැවත පසට එකතු කොට, යළි යළිත් ශාකවලට උරා ගත හැකි පරිදි චක‍්‍රීකරණය කිරීමකි. ශාක වර්ධනයට අවශ්‍ය නයිට‍්‍රජන් සහ අනෙකුත් පෝෂක කොටස් එයින් සැපයේ.

මේ සඳහා කිසිදු මිල අධික බාහිර යෙදවුමක් යොදා නො ගැනේ. කාබනික ද්‍රව්‍ය ගෙවත්තේ සහ අවට බහුලව තිඛෙන අතර අවශ්‍ය වන්නේ අප යම් අවධානයකින් සිට ස්වාභාවික ක‍්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම ය.
ගෙවත්තේ මෙය ඉතා පහසුවෙන් කර ගත හැකි ය. ගෙවත්තේ ඇති ඉඩ ප‍්‍රමාණය අනුව ඔබට බිම ගොඩ ගසන කොම්පෝස්ට් ගොඩක් සාදා ගත හැකි ය. එසේ ඉඩ වෙන් කර ගත නො හැකි නම් ප්ලාස්ටික් භාජනයක් (බැරලයක්) යොදා ගත හැකි ය. කොම්පෝස්ට් සඳහා ම නිපදවූ භාජන ද දැන් වෙළඳ පොළෙන් ලබා ගත හැකි ය.

කොම්පෝස්ට් සැදීම සඳහා අවශ්‍ය මොනවා ද?

ගෙවත්තෙන් සහ අවටින් පහසුවෙන් සපයා ගත හැකි තණකොළ, අමු ශාක පත‍්‍ර, මුළුතැන්ගෙයින් ඉවත් කරන එළවළු පොතු, පලතුරුවල ඉවතලන කොටස්, කෙසෙල් අතු සහ කඳන් කොටස්, ලී කුඩු, වත්ත අතුගෑමෙන් ලැඛෙන වියළි පත‍්‍ර සහ දඬු කැබලි, ඉවතලන පුවත්පත් කැබලි, ගොම සහ කුකුල් පොහොර මේ සඳහා උචිත ය. දැව කොටස් සහ අමු ශාක පත‍්‍ර යොදා ගැනීමේ දී ඒවා කුඩා කැබලිවලට කපා ගන්න. කුඩා කැබලි ඉක්මනින් දිරාපත් වේ.

භාවිත නො කළ යුතු ඒවා වන්නේ මස් සහ මාළුවල ඉවතලන කොටස්, ඇටකටු, කිරි නිෂ්පාදන, රෝගී වූ පැළෑටි, ප්ලාස්ටික්, ටින් යනාදියයි. ප්ලාස්ටික් නො දිරනවා පමණක් නො ව අනෙක් ද්‍රව්‍ය දිරීමේ ක‍්‍රියාවලියට ද බාධා පමුණුවයි.

කොම්පෝස්ට් සාදා ගැනීමේ පියවර• (ගොඩක් වශයෙන්)

පියවර 1•
ස්ථානයක් තීරණය කිරීම
දැඩි හිරු රැස් පතිත නො වන, සාමාන්‍ය සෙවණක් ඇති, වැඩිපුර ජලය නො රඳන, මඳක් උස් ස්ථානයක් තෝරා ගන්න. අවම වශයෙන් මීටර් දෙකක් දිග සහ මීටරයක් පළල ගොඩක් සාදා ගැනීමට ඉඩක් තිබිය යුතු බව සලකන්න.

පියවර 2•
කොම්පෝස්ට් ගොඩ ඇතිරීම-
ඔබ තෝරා ගත් වියළි ද්‍රව්‍ය එනම්, වියළි පත‍්‍ර, පුවත්පත් කැබලි, පිදුරු, ලී කැබලි ආදි කාබනික අගය වැඩි ද්‍රව්‍ය මුලින් ම අතුරන්න. ඒ මත දෙවැනි තට්ටුව වශයෙන් අමු ශාක පත‍්‍ර, තණකොළ, කෙසෙල් කඳන් කොටස් වැනි නයිට‍්‍රජන් අධික දැය අතුරන්න. ඔබ යෙදූ දැයෙහි වියළි ස්වභාවයක් දක්නට ලැබේ නම් ජලය ඉසින්නට අමතක නො කරන්න.

දිරීමේ ක‍්‍රියාවලිය සඳහා ක්ෂුද්‍රජීවීන් සහ පණුවන් වැනි අනෙකුත් ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය අවශ්‍ය බව ඔබට මතක ඇත. මේ සඳහා ඔබ යෙදු කාබනික ද්‍රව්‍ය මතට එම ජීවීන් යළි ඇතුළු කළ යුතු වේ. ඔබගේ ගෙවත්තේ දැනටමත් දිරාපත්ව ඇති වියළි පත‍්‍ර සහිත පස් තිබේ නම් එබඳු පස් තට්ටුවක් ඉහත ගොඩ මත අතුරන්න. ඒ තුළ ක්ෂුද්‍රජීවීන් සිටින බැවිනි. දිරාපත් ගොම එබඳු තවත් විකල්පයකි. අවශ්‍යතාව වන්නේ කෙසේ හෝ ක්ෂුද්‍රජීවීන් ඇතුළු කිරීම ය.

මෙම තට්ටුවට පසු ඔබට යළි අමු ශාක පත‍්‍ර, තණකොළ, කෙසෙල් කොළ වැනි ද්‍රව්‍ය තට්ටුවක් යෙදිය හැක. ඒ මතට යළි කාබනික ද්‍රව්‍ය එනම් වියළි පත‍්‍ර, තට්ටුවක් යෙදිය හැකි ය. යළි ගොම හෝ මඳක් කොම්පෝස්ට් බවට පත් වූ ද්‍රව්‍ය යොදන්න.

මෙසේ ඔබේ කොම්පෝස්ට් ද්‍රව්‍ය තට්ටුව යම් උසකට පැමිණි පසු ඊට ප‍්‍රමාණවත් ලෙස ජලය යොදා පොලිතීන් ආවරණයකින් වසා දමන්න. කොම්පෝස්ට් තට්ටුව මුළුමනින් ම නො වැසිය යුතු ය. වාතාශ‍්‍රය ලැබීම පිණිස පොළොවට මඳක් ඉහළින් පොලිතීනය රඳවන්න.

පියවර 3•
නඩත්තුව
සෑම දින 4 – 5කට පසු විවර කොට තෙතමනය පරීක්ෂා කරන්න. අවශ්‍ය නම් ජලය එකතු කර යළි වසා දමන්න.

සති 3කට පසු පොහොර ගොඩ යළි විවර කොට දැනට අඩක් දිරා ඇති ද්‍රව්‍ය මනාව පෙරළන්න. යෙදූ ද්‍රව්‍ය කොතරම් දුරට දිරීමේ ක‍්‍රියාවලියට භාජනය වී ඇත්දැයි ඔබට බලා ගත හැකි වනු ඇත. සෑහීමකට පත් වීමට නො හැකි නම් තවත් ගොම හෝ දිරූ කොම්පෝස්ට් ද්‍රව්‍යයක් යොදන්න. ඒ තව තවත් ක්ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය වේගවත් කිරීම සඳහා ය. යළි වසා දමන්න. දින 3 – 4කට වරක් තෙතමනය පරීක්ෂා කොට අවශ්‍ය වන්නේ නම් ජලය යොදන්න.

නැවත සති 8කට පසුව ද සති 12කට පසුව ද ඉහත කී ක‍්‍රියා මාර්ගය ම අනුගමනය කරන්න. එනම් ගොඩ පෙරළීම සහ දින 3 – 4කට පසු ජලය යෙදීම ය.

ක්ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය වේගවත් කිරීම සඳහා යොදන ද්‍රව්‍ය ප‍්‍රමාණවත්ව තිබේ නම් සහ මනා තෙතමනයත්, උෂ්ණත්වයත් තිබේ නම් මාස තුනකට පසු හොඳින් දිරූ කොම්පෝස්ට් ලබා ගත හැකි වේ.

ඉඩ සීමා සහිත නම් ප්ලාස්ටික් හෝ වෙනත් බැරලයක් ද කොම්පෝස්ට් සෑදීම සඳහා යොදා ගත හැකි ය. දිරාපත් නො වන හෙයින් ප්ලාස්ටික් බැරලයක් වඩා වාසිදායක ය.

මෙහි දී, තද හිරු එළිය නො වැටෙන සෙවණක බැරලය තබන්න. ඉහත ක‍්‍රමය ම අනුගමනය කරමින් කාබනික ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය බැරලයේ තට්ටු වශයෙන් තැන්පත් කරන්න. බැරල් ක‍්‍රමයේ වාසිය නම් කැමති විටක අමුද්‍රව්‍ය තැන්පත් කළ හැකි වීම ය. එනම් ඔබගේ මුළුතැන්ගෙයින් ඉවතලන දැය දිනපතා එහි තැන්පත් කළ හැකි ය.

මේ සඳහා මුළුතැන්ගෙයින් ඉවත දමන දෑ පමණක් ප‍්‍රමාණවත් නො වේ. ක්ෂුද්‍රජීවී ක‍්‍රියාවලිය සඳහා කාබනික ද්‍රව්‍ය ද එකතු කළ යුතු ය. මිදුල අතුගා ලැඛෙන වියළි පත‍්‍ර සහ තිබේ නම් ගොම ස්වල්පයක් නිතිපතා එකතු කිරීම, දිරීමේ ක‍්‍රියාවලිය ඉක්මන් කිරීමට උපකාරී වේ.

බැරලය වසා තැබිය යුතු වුව ද වාතාශ‍්‍රය සඳහා ඉඩ කඩ සැලසිය යුතු වේ. එමෙන් ම තෙතමනය ප‍්‍රමාණවත් ලෙස තිබේ දැයි නිරතුරුව ම අවධානයෙන් සිටිය යුතු වේ.

බැරලයේ පහත සිදුරකින් සෑදුණු කොම්පෝස්ට් ලබා ගත හැකි ය. ඉහත සඳහන් පරිදි ක්ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වයට ප‍්‍රමාණවත් සහයක් ලබා දෙන්නේ නම් සති 8කට පසු දිරූ කොම්පෝස්ට් ලබා ගත හැකිවනු ඇත. පහත ඇති විවරය ආසන්නයේ මුලින් ම යෙදූ ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත්ව තිබුණ ද පසුව යෙදූ ද්‍රව්‍ය කොම්පෝස්ට් වීමට ඊට වඩා කාලයක් ගත වේ.

බැරල් ක‍්‍රමයට කොම්පෝස්ට් ඔබට නිතිපතා ලබා ගත හැකි වුව ද එක් වරකට ලබා ගත හැකි ප‍්‍රමාණය සීමා සහිත ය. වරක් ලබා ගත් පසු යළි ලබා ගැනීම සඳහා සති දෙකක්වත් ගත විය හැකි ය.

කොම්පෝස්ට් යනු බෝගයකට යෙදිය හැකි වඩාත් ප‍්‍රශස්ත පොහොර වේ. එයින් පසෙහි ආම්ලික බව මනාව පාලනය කරයි. රසායනික පොහොර යෙදිමේ දී ඔබට ලැඛෙන්නේ එන්. පී. කේ පමණි. එනම් ප‍්‍රධාන යයි සලකනු ලබන පෝෂ්‍ය කොටස් පමණි. එහෙත් කොම්පෝස්ට් යෙදීමේ දී පැළෑටියකට අවශ්‍ය අනෙකුත් සියලූ ම ඛනිජ, විටමින්, හෝමෝන ඇතුළු ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය ලැබේ. වඩා නිරෝගී, පෝෂ්‍යජනක ආහාරයක් ඔබට අස්වනු ලෙස ලැබේ. රසායනික පොහොර නිසා ක්ෂුද්‍රජීවීන් සහ අනෙකුත් ජීවීන් මිය යන හෙයින් ඒවා භාවිතයෙන් ඔබ කළ ප‍්‍රාණඝාත අකුසලයෙන් මිදීමට ද ඔබට අවස්ථාව ලැබේ.

ඔබේ ගෙවත්තට ස්වභාවික කෘමිනාශක වර්ග කිහිපයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *