වස විස නැතිව කැරට්, බීට්, රාබු ගෙවත්තේම වගා කර ගනිමු

🔷මෙම බෝග ද කුඩා බදුන් වල සාර්ථකව ගෙවත්ත තුල වගා කල හැකිය.

🔷ඉවතලන පරන බදුන්, හාල් මලු, ප්ලාස්ටික් බෝතල්, මල් පෝච්චි මේ සදහා යොදා ගත හැක.

🔷මේවා බීජ මගින් වගා කල යුතු බෝගයන් ය.

🔷බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවිසැල් වලින් හෝ පෞද්ගලික බීජ වෙලදසැල්වලින් මිලදී ගැනීමට හැකියි.

🔷 බදුන් මාධ්ය ලෙස මතුපිටපස් , කොම්පෝස්ට් , සියුම් වැලි ,ගොමපොහොර භාවිතා කල හැක. මෙම මාධ්ය තුල බොරලු ,කුඩා ගල් කැට නොතිබිය යුතුයි. සියුම් මාධ්යක් තිබීම වඩාත් යෝග්යයි.

🔷රෝග හා පලිබෝධ පාලනයන් සදහා කාබනික පරිසර හිතකාමී ක්රම භාවිතා කිරීම මගින් සාර්ථකව වගා කල හැකි වේ.

👉කැරට්🥕🥕🥕

▪️මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ට වඩා ඉහළ එසේම උෂ්ණත්වය සෙන්ටිග්රේඩ් 15-20 පවතින ප්රදේශවල කැරට් බෝගය ඉතා හොඳින් වගා කළ හැකිය.

▪️එසේ වුවද මීටර් 1300 වඩා පහළ හා මධ්යම ප්රදේශවල ද සාර්ථකව වගා කළ හැකි කැරට් ප්රභේද පවතී.

▪️කැරට් වගාව සඳහා කාබනික ද්රව්ය බහුලව අඩංගු වැලි ලෝම පසක් වඩාත් යෝග්ය වේ.

▪️සෑමවිටම ගල් බොරළුවලින් තොර පසක් වීම වඩාත් සුදුසුය. ලංකාවේ දක්නට ලැබෙන රතු කහ පොඩ්සොලික් පස්වල කැරට් හොඳින් වගා කළ හැකිය.

▪️කැරට් බීජ කුඩා බැවින් බිජ, බදුන් වල හෝ ක්ෂේත්රයේ කෙලින්ම වැපිරීම සිදු කළ යුතුවේ.

▪️මේ නිසා කැරට් බිම සිටුවනවානම් කැරට් වගාව සඳහා හොඳින් බිම් සකසා ගත යුතුය. සෙන්ටිමීටර් 20 – 30 ගැඹුරට සී සෑමෙන් හෝ කෙටීමෙන් පසු සියුම්ව පස සකස් කර ගන්න. මීටර් 1 පමණ පළල පාත්ති සකසා ගැනීම මඟින් වගා නඩත්තුව පහසුවේ.

▪️බීජ පැළවී සති 3-4 කින් පැළ තුනී කිරීම අවශ්යවන අතර සති 8 දී නියමිත පරතරයට සිටින සේ පැළ තුනී කළ යුතුය.

▪️කැරට් වගාවේ ජල අවශ්යතාවය භෝගයේ වර්ධනය අනුව වෙනස් වේ. මුළු වගා කාලය පුරාම හොඳ ජල සැපයුමක් ලබා දීම අවශ්ය වේ. පස විටින්විට තෙත් වීමට හා තදින් වියළීමට භාජනය වීමෙන් කැරට් අල පැලී යාම දැකිය හැකිය. අධික තෙතමනය නිසා අල කුණුවීම සිදුවේ.

▪️අතින් වල්නෙලීම මගින් වල් පැළ පාලනය කළ හැකිය. මතුපිට පොහොර යෙදීමට කලින් වල්නෙලීම කළ යුතුය.

▪️වගාවට සති 3, 6,8, 9 දී කාබනික පොහොර යොදන්න.

▪️කැරට් වගාවට දින 85-100 පමණ වන විට අස්වනු නෙලාගත හැකිය. වැඩි කාලයක් වගාව ක්ෂේත්රයේ තැබීම මඟින් අල පැලීම මෙන්ම කුඩා මුල් හට ගැනීමත් නිසා අස්වැන්නේ ගුණාත්මයට හානි වේ.

👉බීට්

▪️හොඳින් ජලය බැසයන කාබනික ද්රව්ය අඩංගු පස්වල බීට් සාර්ථකව වගාකළ හැකිය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 6.3 – 7.3 වේ.

▪️බීජ තවාන් කල සිටුවීම කල හැක.

▪️වගා කිරීමට බලාපොරොත්තු වන්නේ බිම නම් ඉඩමේ සෙන්ටිමීටර් 20-30 ගැඹුරට පස පෙරළා මීටරයක් පමණ පළල හා සෙන්ටිමීටර් 20 පමණ උස පාත්ති සකසා ගන්න. හොඳින් දිරාපත් වූ කාබනික පොහොර එක් කරගන්න.

▪️සෙන්ටිමීටර් 10 පරතරය සහිත පේලි දිගේ බීජ සිටුවන්න. සති 4-6 පමණ වයසැති හා අලය තරමක් වර්ධනය වී ඇති පැළ සිටුවීම සඳහා යොදා ගැනේ.

▪️මෙයට අමතරව ක්ෂේත්රයේ සකසාගත් පාත්තිවල එකවරම බීජ සිටුවීමද කළ හැකිය.

▪️බීට් ඇටයකින් බීජ පැළ 2-3 ක් ලැබෙන අතර බීජ සිටුවා සති 4-6 කට පසු වැඩි පැළ ගලවා ඉවත් කළ යුතුය. මෙසේ ගලවා ඉවත් කරන පැළ වෙනත් ක්ෂේත්රයක සිටුවීම කළ හැකිය.

▪️සිටුවීමට සුදුසු අවස්ථාවට පත්වූ පැළ ප්රවේශමෙන් ගලවා ඒවායේ පත්රවල කෙළවර ප්රදේශයෙන් කපා දමන්න. ඉන්පසු මුදුන් මුලද තරමක් කපා දමා මුදුන් මුල නොනැමෙන ලෙස පාත්තිවල සිටුවා ජලය සපයන්න.

▪️සැලකිය යුතුයි හිරු එළිය අඩු වර්ෂාව වැඩි කාලයේදී බීට් කොළ රතු පැහැවී වර්ධනය අඩු වීම සිදුවේ. මෙය රෝග තත්ත්වයක් නොවේ.

▪️අඩු හිරු එළිය සහ වර්ෂාව අධික කාලය මඟහැර වගා කිරීම වඩාත් යෝග්ය වේ.

▪️පොහොර යෙදීම බීජ පැළ වී සති 2 පමණ ගත වූ පසුව තවානට කාබනික පොහොර එක් කරන්න.

▪️පසෙහි තෙතමනය සැලකිල්ලට ගනිමින් දින 3-4 වරක් බැගින් ජලය සපයන්න.

▪️වගාවේ පැළ සිටුවා සති 2 දී පළමුවරට වල් පැළ ගලවා දමන්න. ඉන්පසු මතුපිට පොහොර යෙදීමට පෙර, එනම් සති 4 දී පමණ නැවත වරක් වගාවේ වල් පැළ ඉවත් කරන්න.

▪️පැළ සිටුවා දින 70-90 දී අස්වැන්න නෙළාගත හැකිය.

👉රාබු

සිටුවීම
▪️බිම සිටුවනවානම් සෙන්ටිමීටර් 30-40 පමණ ගැඹුරට පස පෙරළා හොඳින් කැට පොඩිකර ගන්න. උස් පාත්ති සකසා ගන්න.

▪️සකසා ගත් පාත්ති වල සෙන්ටිමීටර් 1 ක් පමණ ගැඹුරට ඇලි සකසා බීජ තුනීවට දමා සියුම් පස් වලින් වසා දමන්න. බීජ පැළවී සතියක් පමණ ගත වූ පසුව නියමිත පරතරයට සිටින සේ වැඩි පැළ උදුරා දමන්න. මල් හට ගැනීම වළක්වා ගැනීම සඳහා උඩරට ප්රදේශවල රාබු වගා කළ යුත්තේ මාර්තු – මැයි සහ අගෝස්තු – ඔක්තෝබර් කාලවලදීය.

▪️පොහොර යෙදීම
හොඳින් දිරූ කාබනික පොහොර පසට මිශ්ර කරන්න.

▪️ජල සම්පාදනය
මුල් දින 4-5 දී දිනපතා ද ඉන්පසුව සෑම දින 3-4 කට වරක් බැගින් ද ජලය සපයන්න.

▪️වල් පැළ පාලනය
එක් වරක් අතින් වල් ගැලවීම ප්රමාණවත්ය. උඩරට ප්රදේශවල සති 4 දී ද වෙනත් ප්රදේශවල සති 2 දී පමණද වල් ගලවා දමන්න.

▪️අස්වැන්න දින 45- 50 න් ලබා ගැනීමට හැකියි.

 

🌿මූලාශ්ර සහ ජායාරූප – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ අන්තර්ජාලයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *