අලංකාරවත් පතෝල මැස්සක් ගෙවත්තට එකතු කරගනිමු

🍀පතෝල (snake gourd) වල උද්භිද විද්යාත්මක නාමය වන්නේ – ට්රයිකොසැන්තස් කියුකමෙරිනා (Trichosanthes cucumerina)ය.
පතෝල කුකර්බිටේසි කුලයට අයත් වේ.

🍀කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්රභේද ලෙස;

🍀ටී.ඒ. 2
මීටරයකට වඩා දිග කරල් අළු සුදු පාටය. මේරීමත් සමඟ කරල්වල තද කොල පාට ඉරි ඇති වේ.

🍀එම්.අයි. (කෙටි)
අළු සුදු පැහැති කරල මීටර් 1/2 පමණ දිගය.

🍀තින්නවේලි
කරලක දිග මීටර් 3/4 පමණ වේ. මාංසල බවින් වැඩි මෙම කරල් අළු සුදු පාටය. මේරීමත් සමඟ කරලේ සුදු පැහැති ඉරි ඇතිවේ.

🍀පතෝල වගාවට අවශ්ය දේශගුණික අවශ්යතා;
උණුසුම් දේශගුණික තත්ත්ව ප්රියකරන භෝගයකි.
සෙල්සියස් අංශක 25 ට වඩා වැඩි උෂ්ණත්ව වලදී වර්ධනය වැඩි වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ උසක් දක්වා වූ ප්රදේශවල සාර්ථකව වගාකළ හැකිය. වියළි කලාපයේ යල් කන්නයේදී ද තෙත් කලාපයේ වසර පුරාම ද පතෝල වගා කළ හැකිය.
කෙසේ වුවද තද වර්ෂා කාල මඟහැර වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

🍀පස
කාබනික ද්රව්ය මැනවින් අඩංගු හොඳින් ජලය බැසයන පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 5.5 – 7.5 පමණ වේ.

🍀 බිම් සැකසීම
බිම පෙරලා කැට පොඩි කරගන්න. නියමිත පරතරයට සෙන්ටිමීටර් 30x30x30 ප්රමාණයේ වලවල් සකසා ගන්න.

🍀පරතරය
මීටර් 1.5 x 1.5 කි.

🍀සිටුවීම
දිරාපත් වූ කාබනික ද්රව්ය සහ මතුපිට පස් මිශ්රකර වල පුරවාගන්න. සකසාගත් වලෙහි එකිනෙකට තරමක් දුරින් බීජ 3 පමණ සෙන්ටි මීටර් 2 – 3 පමණ ගැඹුරින් සිටුවා හොඳින් ජලය සපයන්න. දින 5-8 දී බීජ ප්රරෝහනය වේ.

🍀බිම සිටුවීමට ඉඩ ප්රමාණවත් නොවේ නම් බදුන් වල වූවද වගා කල හැකියි.
මාධ්ය ලෙස කොම්පෝස්ට් මතුපිටපස් යොදා ගන්න.

🍀පැළ තුනී කිරීම
සිටුවා සති 2 කට පසු එක් වලක නිරෝගී පැළ 2 ක් ඉතිරිවන සේ අනෙක් පැළ ගලවා ඉවත් කරන්න.

🍀වැල් පුහුණු කිරීම
මීටර් 2 පමණ උස ශක්තිමත් පන්දලමකට වැල් යොමු කරන්න. පන්දලමට පහතින් වැලෙහි ප්රධාන කඳෙන් හටගන්නා පාර්ශ්වික අතු ඉවත් කරන්න. ගැහැණු හා පිරිමි මල් එකම වැලේ වෙන් වෙන්ව හට ගනී. රාත්රී කාලයේදී මල් පිපේ.

🍀පොහොර යෙදීම
හොඳින් දිරූ කාබනික පොහොර මේ සදහා යොදා ගන්න.
පැළ මතුවී සති 4 සහ පැළ මතුවී සති 8 නැවත වගාවට පොහොර එක් කරගන්න.

🍀ජල සම්පාදනය
බීජ ප්රරෝහනය වන තෙක් දිනපතාම පාහේ ජලය සපයන්න. ඉන්පසු අවශ්යතාවය අනුව වරින් වර ජලය සපයන්න. වැල් වටා වසුනක් යෙදීමෙන් වියළි කාලගුණික තත්ත්ව පවතින විට පස වියළී යාම අඩුකර ගත හැකිය.

🍀වල් පැළෑටි පාලනය
බෝගයේ මුල් අවස්ථාවේ දී වල්පැළ පාලනය පිලිබඳ සැලකිලිමත් වන්න. වැල් හොඳින් වැඩී මැස්ස ආවරණය කරගත් පසුව වල් පැළෑටි පාලනය එතරම් ගැටළුවක් නොවේ.

🍀කරලේ හැඩය පවත්වා ගැනීම සදහා කරල අග කුඩා ගල් කැබැල්ලක් එල්ලන්න.

🍀අස්වනු නෙළීම
සිටුවා දින 60 – 75 දී අස්වනු නෙළීම ආරම්භ කළ හැකිය.

රෝග හා පළිබෝධ හානි

🍀ඉල් මැස්සාගේ හානිය

ඉල් මැස්සාගේ සුහුඹුල් ගැහැණු සතුන් කරල සිදුරු කර එහි බිත්තර දමයි.
ඉන් පිටවන කීටයින් කරලේ මාංශලය ආහාරයට ගනිමින් වැඩේ.
කරලේ වර්ධනය ඕනෑම අවස්ථාවකදී හානි සිදුකළ හැකිය. ඉල් මැස්සාගේ කීටයින් කරල තුළ සිදුකරන හානිය නිසා කරල් කුණු වී යයි. වැල් අවට පොළව රේක්කයකින් ඇවිස්සීමෙන් පිලා අවස්ථාව විනාශ කළ හැකිය. හානි වූ කරල් වගාවෙන් ඉවත් කර විනාශකර දමන්න. කුඩා අවධියේදීම කරල් තුනී පොලිතීනයකින් හෝ කඩදාසි මඟින් ආවරණය කිරීමෙන් කරල් වලට හානි කිරීම පාලනය කර ගත හැක. මීට අමතරව අප විසින් කලින් ඉදිරිපත් කර ඇති ඉල්මැස්සා පාලනයට යොදා ගත හැකි ක්රම ලිපිය බලන්න.

 

🍀මීට අමතරව අවුලකපෝරා කුරුමිණියන්, හබල්පාද මකුණන් හා එපිලැක්නා කුරුමිණියන් නිසාද වගාවට හානි සිදුවිය හැක. මූල ගැටිති වටපණු හානිය නිසා ශාකයේ වර්ධනයට අවශ්ය පෝෂක හා ජලය ලබා ගැනීම අඩු වේ. මෙහිදී ශාක මැලවුණු ස්වභාවයක් පෙන්වීම, පත්ර කුඩා වීම හා වර්ධනය බාල වී කුරු ශාක ඇති වීම මඟින් හානිය හඳුනාගත හැකියි. අඛණ්ඩව කාබනික පොහොර යෙදීම මඟින් පසේ තෙතමනය දියුණු කර එහි ඇති හිතකර ජීව ගහණය වැඩි කිරීම තුළින් වටපණු හානිය අවම කරගත හැකිය.

🍀මීට අමතරව පතෝල වගාවේ, ගඩු මැස්සාගේ
හානිය සුලභව දක්නට ලැබේ. ගඩු සෑදෙන මුල් අවස්ථාවේම එම රිකිලි කඩා ඉවත් කරන්න. හානිය උග්ර නම් කොහොඹ නිස්සාරකය යොදන්න.

🍀රෝග පාලනය

පතෝල වගාවන් සඳහා යටිපුස් රෝගය හා පිටි පුස් රෝගය දරුණු ලෙස වැළඳිය හැකිය. මෘදු කුණුවීම නිසා වැලෙහි පාදස්ථ කොටසට හානි ඇතිවුවහොත් පසෙහි ජලවහනය දියුණු කරන්න. පස බුරුල්කර වාතනය දියුණු කරන්න.

🌿උපුටා ගැනීම – Hii Trees.

වට්ටක්කා, බටානා ගෙවත්තේ වවමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *