මිරිස් වගා කිරීමේදී ඇතිවන රෝග සහ කෘමි උවදුරු(කොටස 01)

මිරිස්‌ වගාව කරගෙන යැමේ දී රෝග හා පළිබෝධ පාලනය නො කරගත හොත් වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නො ලැබී යැමට ඉඩ තිබේ.

බෙහෝ දෙනකු මිරිස්‌ වගාවට යොමු වීමට මැළි වන්නේ ද (රෝගවල දී වියදම් කිරීමේ දී) අවසන් වශයෙන් ලැබෙන ආදායමෙන් සෑහීමකට පත් වීමට නොහැකි නිසා ය. මේ තත්ත්වයෙන් මිදීමට ඒ පිළිබඳව අවබෝධයක්‌ ඇති කරගෙන කටයුතු කිරීමෙන් රසායනික මර්දනයකට නො යා වියදම අවම කරගත හැකි ය.

මිරිස්‌ වගාවේ ප්‍රධාන පළිබෝධ හානිය වන්නේ කොළ කොඩ වීම ය. කොළ කොඩ වීමේ සංකීර්ණය ලෙසට මෙය හඳුන්වන්නේ හේතු කිහිපයක්‌ මේ තත්ත්වය ඇති වීමට බලපාන නිසා ය. පැළ මැක්‌කා, කූඩිත්තා, මයිටාවා යන සතුන් ළපටි පත්‍රවලින් යුෂ උරා බීම නිසා ද, සුදු මැස්‌සා මඟින් ව්‍යාප්ත වන වයිරසයක්‌ නිසා ද මිරිස්‌ කොළ කොඩ වීම ඇති විය හැකි ය.

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද ?

පැළ මැක්‌කා ගේ හානිය හඳුනා ගැනීමේ දී මේ කෘමියා පිළිබඳව ද දැනගැනීම වැදගත් ය. මේ කෘමියා පිදුරු පැහැති ය. සිහින් ය. මි.මී.2ක්‌ පමණ දිග ය. අධික වියළි කාලගුණයක්‌ පවතින විට මේ කෘමියා ගේ බෝ වීම ඉතා ඉක්‌මනින් සිදුවෙයි. හානිය ලෙස ළපටි පත්‍ර, දාර දිගේ උඩු අතට රෝල් වේ. පත්‍රවල යටි පැත්ත දිළිසෙන රිදී පැහැයකින් දිස්‌ වේ. වැඩුණු පත්‍ර හා නාරටි දුඹුරු පැහැයක්‌ ගනී. හානි වූ කරල් ද දුඹුරු පැහැති සලකුණුවලින් යුක්‌ත වේ. කරල් කෙටි වීම, ඝන වීම හා දුර්වර්ණ වීම ඇති වේ.

මයිටාවා ගේ හානියේ දී පත්‍රය යටි අතට රෝල් වේ. මයිටාවා පියවි ඇසට දැකිය නොහැකි කෘමියෙකි. ඕවලාකාර ය. ළා දුඹුරු පැහැති ය, පත්‍රවලින් යුෂ උරා බීම නිසා පත්‍රය යටි අතට රෝල් වීම සිදු වේ. පත්‍රවල යටි පැත්ත ක්‍රමයෙන් දුඹුරු පාට වේ. පත්‍රවල ඝනකම වැඩි වී පහසුවෙන් කැඩී යැම ද සිදු වේ. හානි වූ කරල් ද විකෘති වේ. එමෙන්ම දුඹුරු පැහැයට (මළකඩ) හැරෙයි.

ගෙදර කන්න, මිරිස් ගෙදරම හදමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *