ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පසුගිය දශක කිහිපය පුරාවටම තේ, පොල්, සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන බවට පත්ව තිබුණා. නමුත් ගෙවුණු දශකය තුළ ලංකාවේ පොල් වගාවෙහි යම් කඩා වැටීමක් දක්නට ලැබුණා. පොල් ඉඩම් කට්ටි කර විකිණීම සහ පොල් ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම යන හේතු නිසා පසුගිය කාල සමයේ පොල් වගාවේ නිෂ්පාදනය සීඝ්‍ර ලෙසින් ඉහළ ගියේ නැහැ. එලෙස ලංකාවේ පොල් වගා ක්ෂේත්‍රය තුළ ගැටළු පැවතුණත් තවමත් සැලකිය යුතු පිරිසක් පොල් වගාව සිදුකරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට දායකත්වය ලබාදෙනවා.

පොල් වගා කිරීමට වඩාත් සුදුසු දේශගුණික සාධක

පොල් ශාකය ලංකාව පුරාම බොහෝ ප්‍රදේශවල දී දක්නට ලැබුණත් එය සාරවත්ව වර්ධනය වීමට පහත සඳහන් දේශගුණික සාධක බලපානවා. එම දේශගුණික ලක්ෂණ ඇති ප්‍රදේශවල පොල් වගාව ඉතාමත් සාර්ථක අයුරින් සිදුවනවා

1) 20 ‘C – 27’C අතර උෂ්ණත්වයක් තිබිය යුතු යි.

2) 2000mm-2500mmත් අතර පැතිරුන වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතු යි.

3) මීටර 100ට වඩා පහත් බිම් වඩාත් යෝග්‍ය යි.

4) ලුණු මිශ්‍ර වැලි පස වඩාත් හිතක‍ර වුව ද ඕනෑම පස් වර්ගයක් ඒ සඳහා සුදුසු යි.

ලංකාවේ බහුලවම පොල් වගාකරන ප්‍රදේශ

කොළඹ, කුරුණෑගල, සහ හලාවත පොල් ත්‍රිකෝණය ලෙසින් හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් කොළඹ, ගම්පහ, කුරුණෑගල, සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොල් වගාව බහුලවම සිදුකරනු ලබයි. එසේම ලංකාවේ මුහුදුබඩ පළාත්වල ද පොල් වගාව මහා පරිමාණයෙන් සිදුකරනු ලබන්නේ පොල් වගාවට හිතකර දේශගුණික සාධක එම ප්‍රදේශවල ඇති නිසා යි.

ලංකාවේ වගාකරන පොල් ප්‍රභේද

ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින්, මුල්ම වරට සිදුකරන ලද පොල් ප්‍රභේද හඳුනාගැනීම වාර්තා වන්නේ 1958 වසරේ දී යි. එහි දී ආචාර්ය ඩී.වී ලියනගේ වෙන් කර දැක්වූ ප්‍රධාන පොල් ප්‍රභේද 3ක් පහත දැක්වෙනවා.

1) උස පොල් ප්‍රභේද (Typica)

2) මිටි පොල් ප්‍රභේද (Nana)

3) අතරමැදි පොල් ප්‍රභේද (Aurantiaca)

උස පොල් ප්‍රභේද

උස පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 8ක් ලංකාවෙන් හමුවනවා. එම ප්‍රභේදයේ පොල් ගසක් සාමාන්‍යයෙන් මීටර් 18ක් පමණ උසකට වර්ධනය වනවා. මෙම ප්‍රභේදයේ පොල් ගස්වල මල් පිපීමට වසර 6-8ත් අතර කාලයක් ගතවුණත් ආර්ථික ආයුකාලය වසර 60ක් පමණ වනවා. එසේම මෙම ප්‍රභේදයට අයත් පොල් වර්ගවලින් වසරකට ලබාගන්නා කොප්පරා අස්වැන්න ඉහළ මට්ටමක පවතිනවා සේම එම කොප්පරා ගුණාත්මක බවින් ද ඉහළ වනවා. නමුත් මෙම ප්‍රභේදයේ පොල් වර්ග එක් ගසකින්  වසරකට ලබාදෙන්නේ පොල් ගෙඩි 40ක් වැනි අඩු අස්වැන්නක්. පහත දැක්වෙන්නේ උස පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 8යි.

1) සාමාන්‍ය උස වර්ගය

2) නවසි

3) කමන්දල

4) රන් තැඹිලි

5) ගොන් තැඹිලි

6) බෝදිරි පොල්

7) දීකිරි පොල්

8) පොර පොල්

මිටි පොල් ප්‍රභේද

මිටි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4ක් ලංකාවෙන් හමුවනවා. එම ප්‍රභේදයේ පොල් ගසක් සාමාන්‍යයෙන් මීටර් 10ක් පමණ උසකට වර්ධනය වනවා. මෙම ප්‍රභේදයේ පොල් ගස්වල මල් පිපීම වසර 3-4ත් අතර කාලයක දී සිදුවුණත් ආර්ථික ආයුකාලය වසර 40කට සීමා වනවා. මෙම ප්‍රභේදයට අයත් පොල් වර්ගවලින් වසරකට ලබාගන්නා කොප්පරා අස්වැන්න පහළ මට්ටමක පවතිනවා සේම එම කොප්පරා ගුණාත්මක බවින් ද අඩු මට්ටමක පවතිනවා. වනවා. නමුත් මෙම ප්‍රභේදයේ පොල් වර්ග එක් ගසකින්  වසරකට පොල් ගෙඩි 200-300 අතර ඉහළ අස්වැන්නක් ලබාදෙනවා. පහත දැක්වෙන්නේ මිටි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4යි.

1) කොළ කුන්දිරා

2) රතු කුන්දිරා

3) කහ කුන්දිරා

4) දුඹුරු කුන්දිරා

 

අතරමැදි පොල් ප්‍රභේද

අතරමැදි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4ක් ලංකාවෙන් හමුවනවා. එම ප්‍රභේදයේ පොල් ගසක් සාමාන්‍යයෙන් මීටර් 12ක් පමණ උසකට වර්ධනය වනවා. මෙම ප්‍රභේදයේ පොල් ගස්වල මල් පිපීම වසර 5-6ත් අතර කාලයක දී සිදුවුණත් ආර්ථික ආයුකාලය වසර 40කට සීමා වනවා. මෙම ප්‍රභේදයට අයත් පොල් වර්ගවලින් වසරකට ලබාගන්නා කොප්පරා අස්වැන්න පහළ මට්ටමක පවතිනවා සේම එම කොප්පරා ගුණාත්මක බවින් ද අඩු මට්ටමක පවතිනවා. වනවා. නමුත් මෙම ප්‍රභේදයේ පොල් වර්ග එක් ගසකින්  වසරකට පොල් ගෙඩි 200-300 අතර ඉහළ අස්වැන්නක් ලබාදෙනවා. පහත දැක්වෙන්නේ මිටි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4යි.

1) තැඹිලි

2) නවසි තැඹිලි

3) රත් රන් තැඹ්ලි

4) බෝතල් තැඹිලි

ඉහත පොල් වර්ගවලට අමතරව පොල් පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දී තිබෙන CRIC 65, SLRC 98, කප්සුවය, කප්රුවන, සහ කප්සෙත වැනි දෙමුහුම් පොල් වර්ග තිබෙනවා. එම දෙමුහුම් පොල් වර්ග උස සහ මිටි පොල් ප්‍රභේදවල ඕනෑම දෙකක් මුහුම් කිරීමෙන් සාදා තිබෙනවා. එසේම මොරොක්කෝ උස නමින් හඳුන්වනු ලබන නව පොල් වර්ගය තෙත් කලාපයෙහි වගා කිරීම සඳහා හඳුන්වා දී තිබෙනවා. නමුත් එම පොල් වර්ගවල ආයු කාලය සාපේක්ෂව අඩු නිසා දිගු කාලීන වාණිජ වගාවකට සුදුසු වන්නේ නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *