ඔසු පැලයක් ගැන….

කිරි හැන්ද ශාකය - Celosia argentia

කිරි හැන්ද ශාකය – Celosia argentia

🍀ලා රෝස හෝ දම් පැහැති පුෂ්ප මංජරියකින් යුතු පදුරක් විදියට හැදෙන මේ පැලෑටිය කිරිහැන්ද කියලා හදුන්වනවා.

🍀 සාමාන්‍යයෙන් කරදරයකින් තොරව හරිම ලේසියෙන් වගා කරගන්න පුළුවන් විදියෙ පැලෑටියක් තමයි කිරිහැන්ද කියන්නෙ.

🍀සමහරවිට අපි නොදැනුවත්වම අපේ වත්තෙ කොනක් අයිතිකරගෙන මේ ශාකය හැදෙන්න ගන්නවා.

 

🍀අතීතයේ දී ගැමි ව්‍යවහාරය තුල කිරිහැන්ද කියලා මේ පැලෑටිය හදුන්වන්න හේතුව මේ එක කොළයක කිරි හැන්දක තියෙන ගුණය තිබුණ නිසා කියලා කියනවා.

 

🍀ඉතින් ඒ අතීත දැනුම අද වෙද්දි පරීක්ෂණ මගිනුත් සනාත කරමින් ඇත්තටම විශාල ගුණ ප්‍රමාණයකින් යුතු ශාකයක් බවට කිරිහැන්ද ශාකය පත්වෙලා තියනවා..

 

🍀නමේ අන්තර්ගත වෙනවා වාගෙම  කිරිහැන්ද භාවිතා කලා කිරි දෙන මව්වරුන්ගෙ කිරි තවත් වර්ධනය වෙන්න සහ ගුණාත්මක වෙන්න..  ඒ වාගෙම කිරි හොදින් ශ්‍රාවය වෙන්නත් කිරි නිෂ්පාදනය වෙන්නත් මේ ශාකය ආහාරයක් විදියට සකස් කරලා ගර්භණී මාතාවන්ටත් කිරි දෙන සමයේදීත් දෙනු ලබනවා

 

🍀කිරි වල විශේෂයෙන් කැල්සියම් අන්තර්ගතයිනෙ. ඒ වගේම කිරි හැන්ද පැලෑටියත් හොද කැල්සියම් ප්‍රභවයක්. ඉතින් කැල්සියම් ඌණතාවය මගින් පෙලෙන අයට අස්ථි පද්ධතිය දුර්වල අයට මේ තියෙන්නෙ ඉතාම හොද ව්‍යංජනයක්..

 

🍀රුධිරය පිරිසිදු කරන හැකියාවත් මේ පැලෑටිය ට තියනවා.. ඒ වාගෙම කාන්තා රෝග වලදි රක්ත ප්රදර වගේ රෝග වලදි මේ පැලෑටිය යොදාගනු ලබනවා.

 

🍀මේ වෙනකොට මේ ශාකයේ අන්තර්ගත වෙන 40 කට අධික විවිධ සංයුතීන් ගැන පරීක්ෂණාත්මකව ඔප්පු වෙලා තියනවා.

 

🍀පිලිකා සෛල වලට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාව, ප්‍රතිඔක්සිකාරක හැකියාව, විවිධ බැක්ටීරියා සහ දිලීර මගින් වන ආසාදන සහ අතීසාර අවස්ථා වලදි ඒ බැක්ටීරියා ආදියට එරෙහිව මේ පැලෑටියේ සාරය ක්‍රියාත්මක වෙන බව සනාථ වෙලා තියනවා.

 

🍀අක්ෂි රෝග සහ ඒ ඇසුරින් ඇතිවෙන වෙනත් තත්ව වලට එරෙහිව විශේෂයෙන් ක්‍රියාත්මක වෙන ශාකයක්. මේ බව අපේ පැරණි සිංහල වෛද්‍ය ක්‍රමය තුල ඉන්දියානු වෛද්‍ය ක්‍රම තුල වගේම විශේෂයෙන් චීන වෛද්‍ය ග්‍රන්ථ වලත් සදහන් වෙලා තියනවා. මෙවැනි පරීක්ෂණ සිදු කිරීමට ඒ වාගෙ ලිඛිත සාක්ෂි ඉතාමත්ම වැදගත් වෙලා තියනවා.

 

🍀ඔබ රාත්‍රී අන්ධතාවය සහ විවිධ ඇසෙහි දුර්වලතා වලින් පෙළෙන අයෙක් නම් නිතර ආහාරයට එකතු කරගත හැකි පැලෑටියක් තමයි මේක.  ඒ වගේම නීරෝගී ව ඉන්න ඔබත් ඔබේ ඇස් දෙක රැකගත යුතුම නිසා අනිවාර්යයෙන්ම ආහාරයට එකතු කරගත යුතු ශාකයක් තමයි මේ..

 

🍀 උදරාබාධ ආදියෙන් අනතුරුව නැවතත් උදරය යථා තත්ත්වයට පත් කරන්න මේ ශාකයට පුළුවන්.. ඒ සදහා මූඑ ව්‍යංජනය ආහාරයට ගැනීම කළ හැකියි.

 

🍀මේ පැලෑටියේ රුධිරය පිරිසිදු කරන ගුණය වගේම සමේ රෝග සුවකිරීමේ විශේෂ හැකියාවකුත් තිබෙනවා..

 

🍀කිරි හැන්ද ව්‍යංජනය විවිධ ආකාරවලින් පිලියෙල කරගන්න පුළුවන්..  රතුලූනු, අමුමිරිස් පොල්කිරි යොදා සාදාගත් ව්‍යංජනය වගේම අලුත් කොස් ඇට දමා කිරට සාදාගත් ව්‍යංජනය ත් හරිම ගුණ දායක වාගෙම රසවත්.

 

🍀හැමදාම එකම පලාවර්ගය ආහාරයට ගන්නෙ නැතුව කෑම මේසයට විවිධත්වයක් එක් කරගන්නත් ගුණ දායක ආහාර පිලියෙල කරන්නත් ඔබට පුළුවන් නම් එය තරම් අනාගත ආයෝජනයක් තවත් නෑ..

 

ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙමු. නීරෝගීබව උතුම්ම ලාභය වෙන නිසා..

 

ඔබ සැමට දීර්ඝායු වේවා

 

🖊️සටහන – මලිති රසාංජනා ඉලංකෝන්

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා (BAMS (ug)

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *