බැක්ටීරියා හිටුමැරීම

Bacterial stagnation

අපිට ක්ෂේත්‍රයේ නිතර හමුවන රෝගයක් ගැන. ඒ තමයි සොලනේසි කුලයේ බෝග වලට වැළදෙන බැක්ටීරියා හිටුමැරීම.

ගොවි මහත්තුරු හරි නැත්නම් ගෙවත්තේ වගා කරන ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි ” උදේ හොදට තිබුන පැළේ. දවල් වෙනකොට මැළවිලා.වතුර දැම්මා.ඒත් හරි ගියේ නෑ.ගෙඩිත් හැදීගෙන එනකොටම”. මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට බැක්ටීරියා හිටුමැරීම නිසා.

හිටුමැරීම සොලනේසි කුලයේ බෝග වල බහුලයි.ඒ කියන්නේ තක්කාලි, මිරිස්,මාළු මිරිස්, වම්බටු,අර්තාපල්,බෙල්පෙපර්, දුම්කොළ වගේ ඒවාට.මේක හැදෙන්නේ පසේ ඉන්න Ralstonia solanacearum කියන බැක්ටීරියාව නිසා.

රෝග ලක්ෂණ තමයි

* වගාවේ තැනින් තැන පැල එකපාරටම මැල වී යාම. කොච්චර වතුර දැම්මත් ආයේ හරි යන්නේ නෑ.

* එහෙම මැලවුනු පැලයක පසට ආසන්නයෙන් කද කපලා පිරිසිදු වතුර වීදුරුවකට දාලා ටික වේලාවකින් බැලුවාම කද කපපු තැනින් පහලට සුදු පාට දුමක් වගේ යනවා පේන්වා.(හදුන්කූරේ දුම යනවා වගේ) ඒ තමා බැක්ටීරියා ස්‍රාවය.

* ඉතින් මේ මැලවුනු පැල වල කොළ හැලිලා ටික දවසකින් මැරිලා යනවා.

හිටුමැරීම එන්නෙ ගොඩාක් වෙලාවට ගහේ මල්,ගෙඩි හැදීගෙන එනකොට.මේ කාලෙදී ගහේ ආහාර,පෝශක ගොඩක් වැය වෙන්නෙ මල් ගෙඩි හදන්න. ඉතින් ශාකය ටිකක් දුර්වල වෙනවා.එතකොට ඉක්මනට ලෙඩ අල්ලනවා.

කොහොමද මේක පාලනය කරන්නේ.

* පළවෙනි දේ තමයි හොද වගා බිමක් තෝර ගන්න ඕනේ. ඒ කිව්වේ කලින් සොලනේසි කුලයේ බෝග කන්න 3-4ක් වත් හදලා නැති වෙන්න ඕනේ. කලින් හිටු ගියා නම් සොලනේසි කුලයේ බෝග හිටවන්න එපා.

ගෙවත්තේ පෝච්චි වල හිටවනවා නම් වගා මාධ්‍ය ජීවානුහරණය කරලා ගන්න පුලුවන් නම් හොදයි. කර දහයියා මිශ්‍ර කර ගන්න පුලුවන් නම් වඩාත් හොදයි. මොකද කර දහයියා වල රෝග කාරක වර්ධනය වෙනාවා අඩුයි.

* ඊට පස්සෙ බෝග තෝරගන්නකොට ප්‍රතිරෝධී ප්‍රභේද හරි ඔරොත්තු දෙන ප්‍රභේද තෝරගන්න ඔනේ.

උදාහරණය විදියට තක්කාලි නම් මහේෂි, තිළිණ,භාතිය

බටු පදාගොඩ,හොර්ඩි ලේන ඉරි වගේ ඒවා.

* ක්ෂේත්‍රයේ හොදින් වතුර බැහැලා යන්න හරි ගස්සන්න ඕනේ.වතුර රැදිලා තිබුනොත් බැක්ටීරියා වර්ධනය වෙනාවා වැඩියි. ඒ වගේම රෝගය හැදුණු පාත්ති වල ඉදන් නිරෝගී පැල වලට වතුර එවන්න එපා.වතුරෙන් බැක්ටීරියාව පැතිරෙන්නවා.

* හිටුමැරීම පටන් ගන්න කොටම ඒ පැලය පසුත් එක්කම අයින් කරන්න ඕනේ. වාණිජ වගාවක් නම් හිටු ගිය පැලය වටා අනිත් පැල වලට කොපර් මිශ්‍ර දිලීර නාශකයක් යොදන්න පුලුවන් නම් හොදයි. මොකද කොපර් වලින් බැක්ටීරියා වර්ධනය සීමා කරන්න පුලුවන්. මේකෙන් රෝගය මර්ධනය බැහැ.නමුත් රෝගය පැතීරීම පාලනය කරන්න පුලුවන්.

* උදලු,මුල්ලු වගේ උපකරණ වලින් වගේම අපේ අත් වලින් රෝගය පැතිරෙන්න පුලුවන්. ඒ නිසා උපකරණ අත් පිරිසිදු කරගන්න ඔනේ.

රෝගය වැලදුණු පැල වලට සාත්තු කරාට පස්සෙ නිරෝගී පැල වලට සාත්තු කරන්න හොද නෑ.

* වගාව ඉවර උනාට පස්සෙ බෝග අවශේෂ පුච්චලා දාන්න.

කරටි සහ ගෙඩි විදින පනුවා(බටු වගාව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *