ඇන්තූරියම්

ඇන්තූරියම් වර්ග ඇන්තූරියම් කිව්වම අනිත් මල් වර්ග ශාක වර්ග වගේම ඇන්තූරියම් වලත් එක එක ප්‍රභේද තියෙනවා. ඒ අතර,ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් සුදු වර්ගය.මෙහි ඇන්තූරියම් මල සුදු වර්ණයෙන් යුත් අතර පත්‍රය තරමක් දිගින් යුත්තයි. බොහෝ විට අවමංගල අවස්ථා, විවාහා සම්භාෂණ , ආයතනික උත්සව සඳහා මෙම සුදු ඇන්තූරියම් මල් වර්ගය යොදා ගන්නවා.

රතු ඇන්තූරියම් මෙහිදි කියන්න ඕන රතු ඇන්තූරියම් කිව්වම නම් රතු ඇන්තූරියම් අතරත් වර්ග තියෙනවා රතු පාට පොඩි ඇන්තූරියම් මල් හා ලොකු ඇන්තූරියම් මල් හට ගන්න ඇන්තූරියම් ශාක අතුරින් රතු පොඩි ඇන්තූරියම් මල් හට ගන්නා මිටි ඇන්තූරියම් ප්‍රභේදය තමයි ඉතා වටින්නෙ. සාමාන්‍යයෙන් වෙළඳපොළෙත් මෙම රතු වර්ණ මල් හට ගන්නා මිටි ඇන්තූරියම් ශාකයක් රුපියල් 350ත් 400ත් වගේ මිලට අලෙවි වන අතර එම එක් මලක් රුපියල් 15ක වගේ මිලක් වෙනවා.

ඇන්තූරියම් කොත්මලේ වර්ගය මෙම ඇන්තූරියම් මල් වර්ගය ලා රතු පාට රැළි සහිත තරමක් ලොකු මල් වර්ගයක්. මල් කළඹක් එහෙම හදන්න, උත්සව අවස්ථා වලට එහෙම වැඩිපුර යොදා ගන්නවා.

ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් තැඹිලි වර්ගය මෙහි මල් ලා තැඹිලි පාට වර්ණයෙන් යුත් අතර සාමාන්‍යයෙන් මිලෙන්ද ඉතා අධික ඇන්තූරියම් වර්ගයක්.

රෝස හා දම් ඇන්තූරියම් ඇන්තූරියම් අතර රෝස පාටින් යුත් ඇන්තූරියම් මල් වගේම දම් පාටින් යුත් ඇන්තූරියම් මල් වර්ගද තිබෙනවා. දම් පාට ඇන්තූරියම් මල් වර්ගය නම් මිලෙන් අධිකයි වගේම තරමක් දුර්ලභයි. නුවර එළිය, බදුල්ල, මහනුවර වගේ ප්‍රදේශ වල නම් මේ දම්පාට ඇන්තූරියම් මල් වලට හොද ඉල්ලුමක් තියෙනවා.

ඉතින් මම මේ සඳහන් කලේ ඇන්තූරියම් වර්ග අතුරින් කිහිපයක් පමණයි. ලංකාවෙ නම් ඇන්තූරියම් වර්ග 20කට වගේ අධික ප්‍රමාණයක් තිබෙනවා.තෙත් සහිත දේශගුණය මෙම ඇන්තූරියම් මල් වගාවට ඉතා යෝග්‍යයයි. ඇන්තූරියම් මල් වගාවකට නිතරම සත්කාර නොකලත් දවසට දෙවතාවක් වත් වතුර එකතු කරන්න ඕන.

වගා කරන ආකාරය-ඇන්තූරියම් මල් වගාවට දේශගුණික අවශ්‍යතා ඇති ස්ථානයක් තෝරා ගත යුතුයි. හොදින් පොළව කොටා පාත්තියක් සකස් කර මුලින් කොහු බත්, රතු ගඩොල් කැට කැබලි, පොල් කොහු වගේ දේවල් එම පසට එක් කරන්න. එක් කර සාදා ගත් පාත්තියට ඇන්තූරියම් පැළ ඉඳුවා එම ඇන්තූරියම් ශාකය වටේට පොල් ලෙලි අතුරන්න. මෙහිදි වියළි ගොම, කිරිදීසියා ශාක අතු, අඟුරු කැබලි දිරා පත් වන කොළ රොඩු වගේ ඒවා එම පාත්තියට එක් කරන්න.

මතක තියා ගන්න ඔයා පාත්තියක හරි මල් පෝච්චි වල හරි ඇන්තූරියම් පැළ ඉන්දුවත් සෙවණ තියෙන තැනක් වෙන්න ඕන. මොකද ඇන්තූරියම් මල් වගාවට තෙතමනය වගේම සෙවනත් ඉතා වැදගත්. ඒ වගේම දිනකට දෙපාරක් වත් ඇන්තූරියම් පැල වලට වතුර දාන්න.ඇන්තූරියම් මල් පැල හොදින් රෝපණය කර මාස ගානක් යන විට එම පැළ තුලින් අලුත් පැළ මුහුකුරනවා. ඉතින් ඔබට පුළුවන් එකම පදුරෙ තියෙන අලුත් ඇන්තූරියම් කුරුල්ලන් අරගෙන වෙනම තව තැනකින් හිදුවා ඔබේ ඇන්තූරියම් මල් වගාව ටික ටික ව්‍යාප්ත කර ගන්න.ඇන්තූරියම් මල් කපන්න හොද කතුරක් තියා ගන්න. හැමෝටම ඇන්තූරියම් මල් කපන්නත් ඉඩ තියන්න එපා…

පැළය බඳුන් ගත කර සිටුවීම:වගාව සඳහා යොමු වන ආධුනිකයෙකු වගාව කිරීමට සුදුසු තත්ත්වයේ ඇන්තූරියම් පැළ, පැළ විකුණන ස්ථානයකින් සපයා ගත යුතු ය එසේ සපයා ගත් පැළවල වැඩිපුර ඇති මුල් කපා දමා කැප්ටාන් දිය කළ බඳුනක වි. 5ක් ගිල්වා තබා පැළ බඳුන් ගත කිරීම සුදුසු ය. පැළ බඳුන් ගත කිරීම සඳහා සෙ.මී.30 ක විෂ්කම්භයක් ඇති බඳුන් තෝරා ගත යුතු ය. බඳුනෙහි යට ඇති සිදුරු මත අඟල් දෙකක් පමණ උසට උළු හා ගඩොල් කැබලි ද ඊට උඩින් දිරාපත් වූ කොළ රොඩු ද ඒ මත ඇන්තූරියම් පොහොර මිශ්‍රණයක් ද අතුරා පැළ බඳුන් ගත කළ යුතු ය. බඳුනෙහි උඩ අඟලක පමණ කොටසක් ඉතිරි ව තිබෙන්නට ඉඩ හල යුතු ය.

  • ඇන්තූරියම් පොහොර (කාබනික):
  • කොල ‍පොහොර කොටස් 2
  • වියලි ගොම කොටස් 1
  • කොහු බත් කොටස් 2
  • වැලි ½ අඟුරු කොටස් 1
  • ඇන්තූරියම් පොහොර (රසායනික)
  • යූරියා කි.ග්‍රෑ. 3 ½
  • සාන්ද්‍ර සුපර් පොස්පේට් කි.ග්‍රෑ. 7
  • මියුරේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ.4

(රසායනික පොහොර ඉහත සඳහන් අනුපාතයට මිශ්‍ර කර ගිණි පෙට්ටි පියනකින් එකක්, පැළ තුනකට පමණ වන සේ පැළ සිටුවා සති තුනකට පසු යෙදීම සුදුසු ය. ‍පොහොර යෙදීම බඳුන් දාරය ආසන්නයේ පැළවලට ඈතින් සිදු කළ යුතු ය.)

පොහොර ‍යෙදීම මසකට වරක් ද, මල් හට ගන්නා විට සති දෙකකට වරක් ද උදය කාලයේ දී ජලය යෙදීමෙන් අනතුරුව කළ යුතු ය. කාබනික පොහොර යෙදීම මාස 3කට වරක් සිදු කිරීම ප්‍රමාණවත් ය. මෙසේ සිටුවා ගත් බඳුන් සෙවණ ඇති තැන්වල තබා නඩත්තු කළ යුතු ය.

පැළ පාත්තිවල සිටුවීම:ඇන්තූරියම් පැළ පාත්තිවල සිටුවන්නේ නම් ආකාර දෙකකට සිටුවීම කළ හැක.

  • 1.කාණු ඉදිකර වගා කිරීම
  • 2.පාත්ති සකසා වගා කිරීම

යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය අනුගමනය කළ ද කෘත්‍රිම ක්‍රමයට සෙවණ සැපයීම කළ යුතු ය. කාණු ඉදිකර වගා කරන්නේ නම් සමතල භූමියක සෙ.මි.25-30 ගැඹුරැති කාණු සකසා එහි අඩියට ගඩොල් කැබලි තට්ටුවක් යෙදිය යුතු ය. ඉන් පසු වේයන් මර්ධනය සඳහා රසායනික ද්‍රව්‍යයක් යෙදිය යුතු ය. ගඩොල් මත පොහොර මිශ්‍රණය අතුරා දින 5කට පසු පැළ සිටුවීම කළ හැක. පාත්ති ක්‍රමයට වගාකරන්නේ නම් සෙ.මි.25 ක් පමණ ගැඹුරට පස බුරුල් කර පාත්ති සකස් කර පොහොර යොදා කෘමින් මර්ධනයට පියවර ගත යුතු ය. ඉන් පසු පැළ අතර පරතරය අඩි දෙකෙන් දෙකට වන සේ පැළ සිටු වීම සුදුසු ය. පොහොර යෙදීම, ජල සම්පාදනය, වල් මර්ධනය ක්‍රමවත් ව කළ යුතු ය.

ඇන්තූරියම් වගාවට අවශ්‍ය පෝෂ්‍ය කොටස් කීපයකි. මින් ඉතාමත් පෝෂ්‍ය කොටස් වන්නේ ෆොස්පරස්, නයිට්‍රජන් හා පොටෑසියම් ය. අත්‍යවශ්‍යෙයන්ම මේ කොටස් අවශ්‍ය වුවත්, ද්වීතියික වශයෙන් ද යෙදිය යුතු පෝෂ්‍ය කොටස් ද ඇත. මේ අනුව කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, මොලිබිඩ්නම්, බෝරොන්, ආදිය ද යෙදි මෙන් සරු මල් අස්වැන්නක් ලබාගත හැකිය. මේ සියල්ල නිසි අයුරින් යෙදිය හැකි වුවත් ශාකයේ වර්ධන අවදි අනුව පොහොර යෙදීම කළයුතුය.

ඇන්තූරියම් වගාවේ වර්ධන අවධි

• කුඩා අවධිය මාස 8-10 තෙක්
• මධ්‍යම අවධිය මාස 8-10 සිට අවුරුදු 1,1/2 වන තෙක්
• මල් පිපෙන අවධිය අවුරුදු 1,1/2 සිට ඉහළට

කුඩා අවධිය්දී නයිට්‍රජන් අඩංගු පොහොර බහුලව යෙදිය යුතු අතර මධ්‍යම අවස්ථාවේදී පොස්පරස් වැඩිපුර යෙදිය යුතුය. මල් පිපෙන අවස්ථාවේ දී පොටෑසියම් බහුලව යෙදීම වඩාත් යෝග්‍ය වේ. පොහොර යොදන ආකාරය දියරමය හා කැටමය වශයෙන් අවස්ථා දෙකක් අනුව සිදුවේ. මේ කුමන ක්‍රමයක් හෝ යොදාගැනීමට ඔබට හැකියාව ඇත.

දියර වශයෙන් පොහොර යෙදීම

කුඩා අවධියේ දී N P K / 30 10 10/ 20 20 20 හෝ /28 14 14 /21 21 21 මාරුවෙන් මාරුවට මුල් මාස 4 දී තවාන් අවධියේදී අඩු සාන්ද්‍රනයෙන් සතියකට දෙවතාවක් ද වෙන මාස 4 දී සතියට වරක් ද ජලයේ දියකර යෙදිය යුතුයි.

මධ්‍යම අවධිය මේ අනුව පහත මිශ්‍රණ දෙක මාරුවෙන් මාරුවට ජලයේ දියකර යොදන්න මධ්‍යම අවධියේදී පොහොර යෙදීම තරමක් වෙනස්ය. මෙහිදී ද කල්පනාකාරී වියයුතුය. N p K /10 30 20 /20 20 20 හෝ 06 30 30 /21 21 21

මල් පිපෙන අවධිය මල් පිපෙන අවධියදී ද ඇන්තූරියම් ශාකයට පොහොර බහුල වශයෙන්ම අවශ්‍ය අතර පහස මිශ්‍රණ දෙක සති දෙකකට වරක් මාරුවෙන් මාරුවට යෙදිය යුතුය. N P K /10 30 20 /20 20 20 හෝ 06 30 30 21 21 21

ඇන්තූරියම් වගාවට භාවිතා කරන කැට පොහොර වර්ග රාශියක් ඇත. ඒ අනුව කෙටි කලීනව දියවී අවසන් වන පොහොර වර්ග හා දිගු කාලීනව දියවී අවසන් වන පොහොර වර්ග ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.

කෙටි කාලීන දිය වී අවසන් වන පොහොර වර්ග කෙටි කලයක් ඇතුළත යෙදිය යුතුයි. කැට පොහොර යෙදීමේදී ග්රෑම් 5ත් 10ත් අතර ප්‍රමාණයක් යෙදිය යුතුය. කැට පොහොර යෙදීමේදී දැන ගත යුතු අනිත් වැදගත්ම දෙය පැළවල මුල් වගා මාධ්‍යයට හොඳින් ඇල්ලූ පසු කැට පොහොර යෙදිය යුතු බවයි.

කැට පොහොර දියවීමට ගත වෙන කාලය අනුව ගසට නිසි පෝෂණයක් නොලැබෙන්නට හැකිය. මේ නිසා කැට පොහොර ඉක්මනින් දියවෙන ලෙස අවස්ථාව සලසා ගත යුතුය. කැට පොහොර දියවීමට ගත වෙන කාල වැඩි නම් ඇන්තූරියම් ගස් පෝෂණ ඌනතාවයන්ට මුහුණ දෙයි. මේ නිසා පසු ගිය සතියේ අප ඔබට කියූ ලෙස වඩා සුදුසු දියර පොහොර ද වඩාත් සුදුසු කැට පොහොර යන්න ඔබට තීරණය කිරීමට හැකිය.

ඔබ වානිජ ක්‍රමයට අැන්තූරියම් වගා කරන්නෙක් නම් වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගැනීම ඔබ විසින් කළ යුතුය. ක්‍රම දෙකින් එකක් ක්‍රමයක් යොදාගන්නවා හැරුණ විට ක්‍රම දෙකම යොදා ගැනීම නුසුදුසුය.

පලිබෝධයන්ගෙන් ආරක්ෂා කර ගැනීම:ගොලු බෙල්ලන්, මයිටාවන්, පත්‍රකන පණුවන්, පිටි මකුනන්, කූඩිත්තන් වැනි පලිබෝධයන් ඇන්තූරියම් පත්‍රවලට, අංකුරවලට, මල්වලට හානි කරන බැවින් ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතු ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *