නිසි ප්‍රමිතියට කහ අස්වැන්න සකසා ගැනීම

අතිරේක ක්ෂේත‍්‍ර බෝග 16 ක් වෙනුවෙන් වගා ප‍්‍රවර්ධන වැඩසටහනක් 2020 යල කන්නයේ සිට දියත් කිරීමට රජය විසින් කටයුතු කරන ලදි. වියළිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිගු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලූ, මුංඇට, කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි. මේ සියල්ල දේශීයව වැවිය හැකි බෝග වන අතර කහ සහ උඳු යන බෝග හැරුණුවිට අන් සෑම බෝගයකින්ම පාහේ සැළකිය යුතු ප‍්‍රතිශතයක් ශ්‍රී ලංකාව ආනයනය කරයි. වියළි මිරිස් වැනි නිෂ්පාදනයක් ගතහොත්, ශ‍්‍රී ලංකාව කලෙකදී ඉන් ස්වයංපෝෂිත තත්වය පවා අත්කරගෙන තිබුණේය. එහෙත් අද දවසේ 90%කටත් එහා ප‍්‍රමාණයකින් මෙය ආනයනය කරනු ලබයි. උක්ත බෝග ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ යම් තැනැත්තෙක් අක්කර කාලක් හෝ ඉන් ඔබ්බට අක්කර භාගයක් දක්වා ඉහත සඳහන් බෝග තනි වගාවක් වශයෙන් වගා කරනු ලැබුවේ නම් රජය මගින් සම්පුර්ණ බීජ වියදමද, වපසරිය අක්කර භාගය ඉක්මවා යමින් අක්කර පහක් දක්වා යන්නේ නම්, පළමු අක්කර භාගය සඳහා වන සම්පුර්ණ බීජ වියදමත්, අක්කර හතර හමාරක් සඳහා වන බීජ වියදමෙන් 50% ක්ද, රජය බැගින් දරාගැනීමට වගාකරුවන් සමග එකඟත්වයකටද පැමිණුනි. මීට අමතරව අස්වැන්න ලද පසු ඒවා මිලදී ගැනීම වෙනුවෙන් ස්ථාවර සහතික මිලක්ද යෝජනා කෙරින. ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම නිසා කහ සහ උඳු වල හිඟයක් පසුගියදා දක්නට ලැබුණු අතර, උඳු කෙසේ වෙතත් නිවසේ පාරිභෝජනය සඳහා කහ පඳුරක් දෙකක් ගෙවතු මට්ටමේ හෝ වගාකර ගන්නට ජනතාව අතර මහත් උනන්දුවක් ගොඩනැගුනේ වැඩසටහනේ පරමාර්ථයන්ට හොඳ ආරම්භයක් දෙමිනි. ”හතර දෙනෙක් ඉන්න පවුලකට දළ වශයෙන් කහ කිලෝග‍්‍රෑම් එක හමාරකට ආසන්න ප‍්‍රමාණයක් විතර අවුරුද්දකට ඕනෑ වෙනවා. ඒ කියන්නේ ලංකාවට වියළි කහ මෙටි‍්‍රක් ටොන් හත්දාස් පන්සීයක් විතර වසරකට අවශ්‍යයි. ඒත් අපි හදන්නේ දෙදාහක් පමණ ගණනක්. ටොන් පන්දාහකට වැඩි ගානක් අවුරුදු පතා ඉන්දියාවෙන් ගේනවා” අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතලේ පර්යේෂණායතනයේදී කහ බෝගයේ උන්නතිය උදෙසා කටයුතු කරන කෘෂි විද්‍යාඥ ප‍්‍රසාද් ඉඩමේකෝරාල මහතා පවසන්නේ එවැන්නකි. නීත්‍යානුකූලව ඉන්දියාවෙන් ගෙනෙන ප‍්‍රමාණය සම්පූර්ණයෙන් නැවතී ඇතිනිසා දැන් කළයුත්තේ ගෙවතු මට්ටමෙන් හෝ වවාගෙන ඇති කහ පඳුරු ගලවාගෙන ලැබෙන අස්වැන්න ප‍්‍රවේශමෙන් හා විධිමත්ව අනුභවයට සුදුසු පරිදි සකසා ගැනීමයි. ඒ ගැන ප‍්‍රසාද් මහතා දැක්වුයේ මෙවන් අදහසකි. “කහ සුද්දකරලා පැය භාගයක් විතර තම්බනවා. හොඳට තැම්බුන කහ අලයට සිහින් කූරක් වැනි දෙයක් පහසුවෙන් ගිල්ලවන්න පුළුවන්. ඒ මගින් තැම්බීමේ තරම, නුපුරුදු කෙනෙකුට වුවත් හඳුනාගත හැකියි. ඊට පස්සේ මඳ පවනේ තෙතමනය හිඳෙන තුරු දින දෙක තුනක් වේළලා, තද අව්වේ හොඳට වේලාගන්න පුළුවන්. මෙම වියළි කහ දිගු කාලයක් තබාගත හැකියි. නිවසේ භාවිතයට වුණත් කහ පඳුරු කීපයක් වවාගෙන මේ ක‍්‍රමයට අස්වැන්න සකසා ගන්නවා නම් කොටස් වශයෙන් කුඩු කරලා භාවිතයට ගත හැකියි” පවුලක වාර්ෂික අවශ්‍යතාවය කිලෝ එක හමාරකට ආසන්න නම්, අමුකහ කිලෝ හත අටක් ලැබෙන පාත්තියකින් කටයුතු හමාර කළහැකි බව පෙනේ. පසුගිය අපේ‍්‍රල් මාසයේදී කිලෝ 50 හිස් පොහොර බෑගයක් තුළ කහ පඳුරු තුනක් වැවුවා නම්, තව මාස දෙක තුනකින් පවුලේ කහ අවශ්‍යතාවය සපුරා ගැනීම ලොකු අභියෝගයක් වන්නේ නැත. පර්යේෂණ තත්වයන් යටතේ මෙවැනි බඳුනකින් කිලෝ ග‍්‍රෑම් 9ක් පමණ ලැබෙනා බව පෙනී ගොස් ඇති බැවිනි. කහ වලට පාට ලබාදෙන සංයෝගය වන්නේ කර්කියුමින් ය. ප‍්‍රසාද් මහතා පවසන්නේ මෙරට තිබෙනා දේශීය කහ වල කර්කියුමින් ප‍්‍රතිශතය 3%-7% අතර වන බවයි. අම්පාර, දෙහිඅත්තකන්ඩිය වැනි වියළි ප‍්‍රදේශයන්හි වැවෙන දේශීය කහ වල ප‍්‍රතිශතය මෙහි ඉහළ සීමාව හා කිට්ටුව පිහිටයි. එනම් ඒවා ගුණාත්මයෙන් ඉහළය. අපනයන විභවයද ඉහළය. ඉන්දීය කහ සමග තරඟ කිරීමට මේ නිසා හොඳ හැකියාවක් මෙරට කහ වලට තිබේ. ඉලක්කගත වෙළඳපොළ වියයුත්තේ ජපානය. යුරෝපය හා ඇමරිකාවයි. අපේක්ෂිත අරමුණු සැපිරෙන්නේ නම් 2022 වසර වනවිට අප කහ වලින් ස්වයංපෝෂිත තත්වයට පත්වෙනවා පමණක් නොව, කහ යනු අපනයන බෝගයක් වීමටද හොඳ විභවයක් තිබේ. 2016-18 දක්වා වසර තුනක කාලය තුළදී පවා මෙරටින් කහ මෙටි‍්‍රක් ටොන් 70, 115, 76 ක් අපනයනය කළ බව බොහෝ දෙනෙක් දන්නේ නැත. මෙසේ අපනයන කෙරුනේ කර්කියුමින් ප‍්‍රතිශතය වැඩි ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදනයි. එසේනම් වෙළඳපොල දැනටමත් විවෘතය. අප කළ යුත්තේ ඉලක්කය හඹායාම පමණි. සියල්ලටම ප‍්‍රථමයෙන් ගෙවතු මට්ටමෙන් ලැබෙන කහ ඵලදාව නිවැරදිව සකසා ගන්නට පුරුදුවීම දිගු ගමනකට පෙරහුරුවක් වනු ඇත. (පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව)  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *