අපිට නොදැනිම අපෙන් ගිලිහී යන මොණරකුඩුම්බිය ශාකය…

ගෙවත්තක් පරිපූර්ණ වෙන්න නම් ඒ ගෙවත්තේ එළවළු, පළතුරු, මල් වගේම ඖෂධීය ශාකත් අනිවාර්යයෙන් ම තියෙන්න ඕනේ.

 

ළමා කාලේ සුන්දර මතක ගොඩක් එක්ක තමයි  මොණරකුඩුම්බිය මල් මතක් වෙන්නේ..

 

මේ මොණරකුඩුම්බිය ගහේ කොටස් ඔක්කොම අපි ඔසු විදියට භාවිතා කරනවා.

 

🔶. අපි හැමෝටම කරදරයක් වුන සෙම් ගෙඩි වගේ තත්වයකදී මේ ගහේ පංචාංගයම තැම්බූ ජලයෙන් උගුර සෝදන එකෙන් සෙම් ගෙඩි ඉක්මණින් අඩුවෙලා යනවා.

 

🔶. මුත්‍රා රෝග හා මුත්‍රා ගල්/අශ්මරි ඉවත් කිරීමට මේ ශාකයට හැකියාව තිබෙනවා.

 

🔶. මොණරකුඩුම්බිය ශාකයේ තියෙන ප්‍රතිශක්තිකරණ වර්ධනය හැකියාව ඉතාම ඉහළයි.

 

🔶. ඒ වගේම රතු රුධිර සෛල වර්ධනය,  හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ නැංවීමට ද හැකියාවක් තියෙනවා.

 

🔶. Anemia එහෙම නැත්නම් පාණ්ඩු රෝගය, අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන ඇඟේ ලේ මදිකමට මේ ශාකයේ කැඳ භාවිතා කරන්න පුළුවන්.

 

🔶. ඒ වගේම උෂ්ණ කෑම නැත්තම් ඇඟේ පිත වැඩිවෙලා හැදෙන කුෂ්ඨ රෝග, වණ වගේ රෝග වලදී මේ ශාකයේ කොළ ටිකක් තල තෙල් වලින් මලවලා ඒ තුවාලය මත තියන්න පුළුවන්.

 

🔶. ඇඟ නිවීමේ හෙවත් සිසිල් කිරිමේ හැකියාවක් මේ ශාකය තුළ තියෙනවා.

 

💠 ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සහ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සඳහන් රෝග ගණනාවක් සඳහා විවිධ ආකාරයෙන් මේ ශාකය යොදාගන්නවා.

 

💠 අක්මාවේ ඇති වෙන විවිධ රෝග වලදී කෂාය විදියට, කැඳ විදියට යොදාගන්නවා.

 

🔶. ඒ වගේම ඉතින් මෙය ඉතා හොඳ සමනළ ආකර්ෂක ශාකයක්.

 

🍵 මොණරකුඩුම්බිය කැඳ හදමු 🍵

=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

 

  • මොණරකුඩුම්බිය ශාකයේ යුෂ කෝප්ප 02 ක්
  • හීනටි වැනි දේශිය සහල් වර්ගයක්
  • සුදුළූණු, රතුළූණු
  • පොල්කිරි

 

පිළියෙල කරන අන්දම

===================

 

  1. සහල් ලිප තබා දෙවන පොල්කිරි කොටසින් ඉදවන්න. ඉන්පසු පළමු පොල්කිරි සහ අනෙකුත් අමුද්‍රව්‍ය එකතු කරගන්න.

 

  1. පොල්කිරි සමඟ බත් ඉදීගෙන එනවිට එයට මොණරකුඩුම්බිය යුෂ කෝප්ප දෙක එකතු කර එම උෂ්ණත්වයෙන් ඉදීමට හැර ලිප නිවා දමන්න.

 

  1. අවශ්‍ය තරමට ලුණු එක්කරගන්න.

 

( මේ සඳහා හොඳම සහල් වර්ගය කලු හීනටි සහල් වේ.)

 

ඉහතින් දැක්වූයේ අපට හදිසි අවස්ථාවකදී භාවිතා කළහැකි අත්බෙහෙත් කිහිපයකි. බොහෝ ලෙඩ රෝග සඳහා වෛද්‍ය නිර්දේශය මත මේවා භාවිතයට ගත හැකියි.

 

ඉතින් ඔබ විවිධ ලෙඩ රෝග වලට මේ ශාකය අවශ්‍ය වී ඒවා සොයද්දී අවශ්‍ය තරම් සොයාගත නොහැකි වූ විට ඔබ ලක්වූ අපහසුතාවය ගැන සමහරවිට ඔබට හොඳ අවබෝධයක් ඇති.

 

අපේ ගෙවත්ත, අපේ මුළුතැන්ගෙය කියන්නේ හොඳ ඖෂධ ගබඩාවක්. ඉතින් ඒ ඖෂධ අපෙන් ඈත් වෙලා යන්න නොදී රැකගැනීම අපි හැමෝගෙම වගකීමක්.

 

අපි දැනුවත් වෙමු දැනුවත් කරමු..

සැමවිටම පෙර සූදානමකින් කටයුතු කරමු..

Covid 19 ඇවිත් අපිට ඉගැන්නුවේ ඒ දේ..

 

🌱 ගෙවතු වගාවෙන් පොඩි ඉඩක් ඖෂධ වලටත් වෙන් කරමු…🌱

 

👩‍⚕️ සටහන -: මලිති රසාංජනා ඉලංකෝන් ( ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා – ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, කැළණිය විශ්ව විද්‍යාලය)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *